Connect with us

ඡායාරූප සටහන

ඇමෙරිකාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER යානය භාරදෙයි (ඡායා)

Published

on

කටුනායක  ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (10) පැවති උත්සවයකදී, එක්සත් ජනපදය විසින් ත්‍යාග කරන ලද බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක්,එක්සත් ජනපද නාවික හමුදා අද්මිරාල්, එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී, ස්ටීව් කේලර් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී.

එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුය්යකොන්ත (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති  උත්සවයකදී  මෙම අති නවීන  ගුවන් යානය භාරදීම සනිටුහන් විය. 

මෙම අවස්ථාව එක්සත් ජනපද-ශ්‍රී ලංකා දෙරටෙහි දිගු කාලීන සහයෝගිතාවය සංකේතවත් කරන අතර  ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව සහ ස්වෛරීභාවය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් වනු ඇත.  

නවීනතම නිරීක්ෂණ තාක්‍ෂණයෙන් සන්නද්ධ කිංග් එයාර් ගුවන් යානය, ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මුර සංචාරයේ යෙදීමට, සමුද්‍රීය තර්ජන වලින් ආරක්ෂා වීමට සහ ඉන්දියන් සාගරයේ වැදගත් වෙළෙඳ මාර්ග සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කරනු ඇත.එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, කිංග් එයාර් ගුවන් යානය ලබා දීමේ  වැදගත්කම අවධාරණය කළ අතර, එය  එක්සත් ජනපදය හා  ශ්‍රී ලංකාව  අතර පවතින ශක්තිමත් සහයෝගිතාවය ,ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය සහ සෞභාග්‍යය සහතික කිරීම උදෙසා වන ශ්‍රී ලංකාවේ කාර්යභාරය පිළිබඳ සාක්ෂියක් ලෙස හඳුන්වා දුන්නාය: “සමුද්‍රය අප එකිනෙකා හා සම්බන්ධ කරන බැවින් එහි ආරක්ෂාව සාමූහික වගකීමක්  බවට වන  ශ්‍රී ලංකාවේ දැක්ම,හවුල්කරුවෙකු ලෙස,එක්සත් ජනපදය  ශ්‍රී ලංකාව සමග එක්ව බෙදා ගනියි.  ආර්ථිකයේ ජීවනාලිය වන ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වෙළඳ මාර්ග ආරක්ෂා කිරීම සඳහා සමුද්‍රීය වසම් දැනුවත් කිරීම ඉතා වැදගත් වේ.  සාගරකලාප , ආර්ථික අවස්ථාවන්ගෙන් පොහොසත් වන අතරම , නීති විරෝධී මසුන් ඇල්ලීමේ සිට මිනිස් ජාවාරම් සහ වෙනත් නීති විරෝධී, බලහත්කාර සහ වංචාකාරී ක්‍රියාකාරකම් දක්වා  සැලකිය යුතු තර්ජනවලට ඒවා  ගොදුරු වේ.  මෙම බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් යානය ඔබේ ජාතික  සමගියේ සහ සෞභාග්‍යයේ නිරන්තර ආරක්ෂකයෙකු ලෙස ඔබට අයිති දේ සාධාරණ ලෙස ආරක්ෂා කිරීමට සැමවිටම සුපරීක්ෂාකාරී වෙමින් සේවය කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන හවුල්කාරිත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360ER  ගුවන් යානය පිළිගනු ලැබීය.  “බීච් ක්‍රාෆ්ට් කිංග් එයාර් 360 ER  ගුවන් යානය හඳුන්වාදීම, සමුද්‍රීය වසම් දැනුවත් කිරීම සඳහා වන ගුවන් හමුදාවේ ගුවන් බලය කාර්යක්ෂම කිරීමේ  එක් ප්‍රධාන පියවරක්” යැයි ඔහු ප්‍රකාශ කළේය. “වගකීම් සහගත හා ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අපගේ කාර්යභාරය පිළිබිඹු කරමින්, ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව සහ HADR ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි අපගේ වැඩි අවධානය යොමු කිරීම මෙම අවස්ථාවෙන් අවධාරනය කරයි.”  තවද, මෙම නවීන  ISR පද්ධතිය ගුවන් සහ සමුද්‍රීය වසම්වල තර්ජනවලට මුහුණ දීම සඳහා ද, අපගේ කලාපයේ අන්තර් ජාතික අපරාධ මැඩලීම සඳහා වන සාමූහික ආරක්ෂාව සහ අන්තර් ක්‍රියාකාරීත්වය පෝෂණය කිරීමේ අඛණ්ඩ උත්සාහයන් සඳහා ද වන නවතම එකතුවක්  වනු ඇත.  කලාපීය සාමය සහ ආරක්ෂාව සඳහා වන අපගේ වගකීම් ඉටු කරන අතරම,කලාපීය සමුද්‍රීය වසම් දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් සමුද්‍රීය නිරීක්ෂණ, අධීක්ෂණ සහ  මුර සංචාරයේ දී ප්‍රමුඛ  කාර්යභාරයක් ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

අද්මිරාල් ස්ටීව් කේලර්  ශ්‍රී ලංකාව සමඟ කලාපීය ආරක්ෂාව සහ හවුල්කාරිත්වය සඳහා වූ එක්සත් ජනපදයේ කැපවීම යලි තහවුරු කරමින් මෙසේ ප්‍රකාශ කළේය: “අද උත්සවය,එක් ගුවන් යානාවකට වඩා  බොහෝ පුළුල් වූ අවස්ථාවක් ,එය අප දෙරටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සහ ඉන්දියන් සාගරයේ සංකීර්ණ සමුද්‍ර අභියෝගවලට මුහුණ දීම සඳහා වූ  කැපවීම පිළිබිඹු කරන අවස්ථාවක්.  අපගේ සහයෝගීතාවය ශක්තිමත් කිරීමට ද සාමය සහ ස්ථාවරත්වය සඳහා වන  හවුල්කාරී  දැක්ම, නීතිරීති පදනම් කරගත් ජාත්‍යන්තර පිළිවෙත් වලට  අනුකුලව  ඉදිරියට ගෙන යාමට මම  බලාපොරොත්තු වෙමි.”

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හවුල්කරුවන්ගේ ධාරිතාව ගොඩනැංවීමේ වැඩසටහන මගින් අරමුදල් සපයන ලද  කිංග් එයාර් යානය, බීච් ක්‍රාෆ්ට් ටෙක්ස්ට්‍ර්න් ඒවියේෂන් ( Beechcraft Textron Aviation ) විසින් නිෂ්පාදනය කරන ලද අතර 2022 වසරේදී සාදා නිම කරන ලදී.  මෙම යානයෙහි සමුද්‍රීය නිරීක්ෂණ පහසුකම්  වැඩිදියුණු කර එක්  කිරීම  2024 වසරෙහිදී සිදු කරන ලදී.  

ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් කැන්සාස් සහ ෆ්ලොරිඩා හි විශේෂ පුහුණුවක් ලබා ඇති අතර, ඉදිරි මාස තුන ඇතුළත  එක්සත් ජනපද රජයේ නිලධාරීන් විසින් වැඩිදුර පුහුණුවක්ද  ලබා දෙනු ඇත. 

 කිංග් එයාර් 360ER ගුවන් යානය ත්‍රිකුණාමලයේ චීන වරායේ පිහිටි සමුද්‍ර මුර සංචාර 3 වැනි බලඝණයට සම්බන්ධ වීමට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ දී තවදුරටත් අවසාන සැකසුම් කටයුතු සඳහා සුදානම්  කෙරෙනු  ඇත.

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved