Connect with us

ඡායාරූප සටහන

ඉදිරි වගා කන්න සමඟ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ  ඉලක්කය  සපුරා ගත  හැකියි

Published

on


මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හයක් තුළ සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පවසයි.

මේ සඳහා තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී ඇති බවත් සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩිවන ආහාර අවශ්‍යතාව සපුරාලීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ මේ වන විටත් ලැබෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජානක ධර්මකීර්ති මහතා මෙසේද පැවසීය.

“සම්ප්‍රදායානුකූල කෘෂිකර්මාන්තයෙන් ඔබ්බට ගොස් වැඩි වන ආහාර අවශ්‍යතාව සපුරාලීම කෘෂිකර්ම අමාත්‍යාංශය සතු වගකීමක් වනවා. එය මේ වන විට සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව කිව යුතුයි. විශේෂයෙන් මේ වන විට ලබන වී අස්වනු ප්‍රමාණය දෙගුණ කර ගත යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දී ඇති ඉලක්කය ඉදිරි වගා කන්න හය තුළ සපුරා ගැනීමට අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.  

ඒ සඳහා කෘෂි නවීකරණ වැඩසටහන යටතේ අප විසින් තාක්ෂණික පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. තවද පුරන් කුඹුරු ඇතුලු සියලු කුඹුරු වී වගාවට යොදා ගැනීමටත් සෙසු  වගා බිම් වෙනත් වගාවන්ට යෙදවීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට වී  වගාවේ සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් රටට අවශ්‍ය  සහල් මෙට්‍රික් ටොන් අට ලක්ෂයක අස්වැන්නක් ලබා ගෙන තිබෙන බවද කිව යුතුයි.

වී මිළ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස මැදිහත් වීමට හැකියාවක් නැහැ. නමුත් විවෘත ආර්ථිකයේදී මිල පවත්වා ‍ගැනීම සාධාරණව සිදු වනු ඇති බව රජය බලාපොරොත්තු වෙනවා. මිල ඉහළ යාම වරක් දෙවරක් සිදු වුනාට රජයට මැදිහත් විය නොහැකි වුනත් එය දිගින් දිගටම සිදු වෙනවා නම් ඊට මැදිහත් විය හැකියි. මේ වන විට සහල් වර්ග දෙකක පමණක් තොග පවත්වා ගෙන ගියත් ඉදිරියේදී සියලුම සහල් වර්ගවල ආරක්ෂිත තොග පවත්වා ගනිමින් වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම වියලි කලාපය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත පුරන් කුඹුරු වෙනත් වගාවන්ට වෙන් කර දෙනවා. එය ආහාර නිෂ්පාදනයේ සාධනීය ඉදිරි පියවරක් වනු ඇතියි.
සම්ප්‍රදායික වගා රටාවෙන් බැහැරව ආහාර අවශ්‍යතාව සැපිරීමේ පියවර වශයෙන් කෘෂි නවීකරණ වැඩසටහන සඳහා අයවැයෙන් රුපියල් මිලියන 2500ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක් තුළ විවිධ කෘෂිකාර්මික කටයුතු සඳහා පොලී රහිත ණය ලබා දී තිබෙනවා. ඊට සමගාමීව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතියද ක්‍රියාත්මක කෙරෙනවා. එමඟින් කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, සත්ව හා ධීවර කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වී ඇති අතර නව තාක්ෂණය යොදා ගැනීම හේතුවෙන් තරුණ ප්‍රජාව මෙම ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමට දරණ උත්සාහය සාර්ථක වී තිබෙනවා.

මේ වන විට කෘෂි කර්මාන්තය දේශීය සීමාවෙන් ඔබ්බට ගොස් විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කර ගෙන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, අඹ, අන්නාසි වැනි පළතුරු බෝග අපනයනය සඳහා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.

මීට අමතරව අස්වැන්නේ උච්ඡාවචනය සහ අස්වනු හානි පිළිබඳ අවධානය යොමු කරමින් දඹුල්ලේ ශීතාගාරයක් ස්ථාපිත කිරීමට ද නියමිතයි. යෝග්‍ය වගාවන් පිළිබඳ ගොවියා දැනුවත් කළත් ඔවුන් ඒ ගැන නොතැකීම නොවන්නට මෙරට අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් සිදු කරනවා. අප අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකාරීත්වය හේතුවෙන් අස්වනු හානි 50%කින් පමණ අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ගොවියාගේ සහායද ඇතුව අස්වනු ක්‍රමානුකූලව වෙළෙඳපොලට නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අප තව දුරටත්  කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් ප්‍රවාහනයේදී සිදුවන පසු අස්වනු හානිය අවම කිරීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීම පිළිබඳ මේ වන විටත් ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. මේ වන විටත් බෙලිඅත්තේ සිට ධාවනය වන දුම්රිය අනෙක් පළාත් සඳහාද යෙදවීමට අවධානය යොමු වී තිබෙනවා.”

– කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි  රණතුංග මහත්මිය –

“ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය වී සහ එළවළු පලතුරු නිෂ්පාදනයන් වර්ධනය කර ගැනීම සඳහා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ තාක්ෂණ පැකේජයක් ගොවි ජනතාවට හඳුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඉදිරි මහ කන්නයේ සිට වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා හෙක්ටයාර 60,000ක තෝරාගත් බිම් කොටස්වලට තාක්ෂණ පැකේජය හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘති ආරම්භ කරනවා. පැරශූට් ක්‍රමය භාවිතා කරමින්  වී වගාව සිදුකිරීමටත් හෙක්ටයාරයකට වී මෙක්ට්‍රික්ටොන් 07 ක් ලබා ගැනීමේ ඉලක්කය වෙත යාමටත් මෙමඟින් අපේක්ෂා කරනවා.
අඩුවී තිබෙන බඩඉරිඟු නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා නියමිත පොහොර සහ කෘෂි රසායනික භාවිතාවන් හඳුන්වා දීමට  පියවර ගෙන තිබෙනවා . එළවළු වගාව ගත්විට සමහර කාලවලට අතිරික්ත නිෂ්පාදනයක් සහ සමහර කාලවලට බෝග නිෂ්පාදන හිඟයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරික්ත නිෂ්පාදන කාලයේදී ගබඩාකරණ පහසුකම් ඇති කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඒ අනුව ශීතාගාර පහසුකම් ලබා දීමටත් අවධානය යොමු කර තිබෙනවා. මේ සියලු කෘෂිකාර්මික වැඩපිළිවෙළ මඟින් ගොවියා ව්‍යවසායකයෙක් බවට පත්කිරීම රජයේ අරමුණයි. “

– සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්ත්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය –

” පශු වෛද්‍ය කාර්යාල 337ක් ඔස්සේ පශු පර්යේෂණ ආයතන 16 මඟින් මෙරට පශු  සම්පත් ක්ෂේත්‍රය ප්‍රගමනය කිරීම සඳහා ක්‍රියාකාරීව කැපවී තිබෙනවා. ප්‍රධාන වශයෙන් කුකුල් සහ කිරිගව  ක්ෂේත්‍ර දියුණු කිරීම කෘෂි නවීකරණ වැඩපිළිවෙල යටතේ පහසුකම් සපයා තිබෙනවා.

කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා තෝරාගත් පළාත් හයක ගොවිපළවල් 150ක පශු සම්පත් නියමු ව්‍යාපෘතියක්  සිදු කරමින් පවතිනවා. ඒ වගේම තෘණ  භූමි සංවර්ධනය කිරීමටත් , ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් අප දෙපාර්තමේන්තුවක් ලෙස මැදිහත්වී තිබෙනවා.නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා පුහුණු ශ්‍රමිකයන් NVQ 3-4 වෘත්තීය පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. එම පුහුණුවෙන් පසුව අවශ්‍ය නම් කිරි ගොවීන්ට විදේශ රටවල රැකියා අවස්ථාවට වුවද යා හැකියි . දැනට ශ්‍රී ලංකාවේ පාරිභෝජන  අවශ්‍යතාවයෙන් 40% නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය  2028 වන විට 60%ක් දක්වා වර්ධනය කර ගැනීමට අප සැලසුම් කර තිබෙනවා.සත්ව ගොවිපළ හිමියන් ව්‍යවසායකින් බවට පත්කරමින් රටේ ආර්ථිකයට සෘජු දායකත්වයක් සැපයීමට මෙමගින් බලාපොරොත්තු වෙනවා.”

 – ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා) සුමිත් චන්දන මහතා –

” මීට වසර දෙකකට පෙර තිබුණු පොහොර අර්බුදය නිමාකර රටේ අවශ්‍යතාවයට අවශ්‍ය පොහොර ගෙන ඒමට ගොවි ජන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. යුරියා ඇතුළු රසායනික පොහොර අවශ්‍ය තරම් ගොවීන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා. අවශ්‍ය නම් පෞද්ගලික අලෙවි නියෝජිතයන්ගෙන් පවා පොහොර මිලදී ගැනීම සඳහා වෙළඳපොළ තුළ පොහොර සුලභ කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ මූල්‍ය සහනාධාර සහ පොහොර නොමිලේ ලබාදීමේ ක්‍රියාදාමය නිසා අස්වනුවල දැකිය හැකි වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වුණා. පසුගිය මහ කන්නය සඳහා රුපියල් බිලියන 11ක මුදලක්සහනාධාර ලෙස  ගොවි ජනතාව වෙත ලබා දී තිබෙනවා. මෙවර කන්නය සඳහා මේ වන විට රුපියල් බිලියන 5.6ක මුදලක්ද ගොවීජනතාව වෙත  ලබාදීමට කටයුතු කර තිබෙනවා.

නවීන තාක්ෂණික ගොවියා ශක්තිමත් කිරීම ” GeoGoviya” යෙදුම භාවිතා කරමින් ගොවීන්ගේ සියලු දත්ත ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.  එමඟින් ගොවියන්ට තිබෙන අවශ්‍යතා සොයා බලා කඩිනමින් සේවා සැපයීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට ගොවි ජන දෙපාර්තමේන්තුව මගින් හරිතාගාර 19ක් ඉදිකර අවසන්. කෘෂිකර්මයට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය, ගබඩාකරණ පහසුකම් ඇතුළු ව්‍යාපෘතිය 1120ක් සඳහා  රුපියල් මිලියන 1499ක් පසුගිය වසර කාලය ඇතුළත රජය විසින් ලබාදී තිබෙනවා. “තිරසර ගෙවත්ත” වැඩසටහන යටතේ ගෙවතු ලක්ෂ10ක් ඇති කිරීමට මේ වන විට කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා මේ වනවිටත් ඉඩම් සොයාගෙන අවසන්. එම එක් ගෙවත්තක එක් බෝගයක් පමණක් වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙමඟින් වාණිජ වශයෙන් ආදායම් ලබා ගැනීමට ද හැකි වෙනවා.

– අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ශිරෝ මණී එදිරිමාන්න මහත්මිය –

“අප විසින් කෙටුම්පත් කරන ලද කෘෂිකර්ම ප්‍රතිපත්තිය මේ වන විට මුදල් අමාත්‍යාංශයේ අනුමැතියට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අංග 10ක් යටතේ කෘෂි නිශ්පාදන සිදු කිරීම සඳහා ඉදිර දස වසර තුළ වැඩසටහන් පෙළ ගැස්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රේඛීය ආයතනවල දත්ත පද්ධති ඒකාබද්ධ කර එක් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ කටයුතු මේ වසර අවසානය වන විට නිම කිරීමට නියමිතයි. එමඟින් කාර්යක්ෂමතාව මෙන්ම තීන්දු තීරණ ගැනීම පහසු කිරීම අපේක්ෂා කරනවා. තවද බීජ පනත, සත්ව පනත, ශාක සංරක්ෂණ පනත ඇතුලු පනත් රැසක් යාවත් කාලීන කරමින් පවතිනවා.”

කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading

කලා

හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (ඡායා)

Published

on

By

ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපදවීමට යන බව වාර්තා වේ.

ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්ය.

මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතය.

මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.

එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.

එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.

ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙන අතර  Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.

පෙර චිත්‍රපට පරිදීම Waer Bros.Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘති‍යේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved