Connect with us

ඡායාරූප සටහන

ඉන්දියාවේදී ජනපති අනුර මහත් හරසරින් පිළිගැනේ (වීඩියෝ / ඡායා) 

Published

on

ඉන්දියාවේ තෙදිනක නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අශ්වාරෝහකයන් පෙරටු කොට ගනිමින් රාෂ්ට්‍රපති භවන් වෙත කැඳවා ගෙන ඒමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය  සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

එහිදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආචාර වෙඩිමුර 21ක් පවත්වා  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගනු ලැබිණි. අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉන්දීය හමුදා ආචාර පෙළපාලියේ හරසර පිළිගනු ලැබීය.

ඉන්පසුව දෙරටේ නායකයන්ට දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස හඳුන්වා දීම සිදු කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවයට රාජ්‍ය තාන්ත්‍රකයෝ රැසක් එක්ව සිටියහ.

පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව රාජ්ඝාට්හි පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමටද ජනාධිපතිවරයා එක් විය.

ඉන්පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය සිහිපත් වීම පිණිස රාජ්ඝාට්හි පිහිටි ගාන්ධි දර්ශන් පරිශ්‍රයේ අශෝක පැළයක් රෝපණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අමුත්තන්ගේ පොතේ ද අත්සන් තැබීය.

අද (16) දිනයේ දී පළමුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවැත්වීමට නියමිතය. ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද රාත්‍රියේ පැවැත්වේ. 

එසේම අද දිනයේදී ජනාධිපතිවරයා  ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් සහ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී නද්දා යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. 

තවද ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ මෙරට ආයෝජන සිදු කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද අපේක්ෂා කෙර්. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

කාදිනල් රංජිත් හිමිපාණන් ලියෝ පාප් වහන්සේ හමුවෙයි (ඡායා)

Published

on

By

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ අභිනවයෙන් තේරී පත් වුණු 14 වන ලියෝ පාප්වහන්සේ , මුණ ගැසී තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ සුහද කතා බහක නිරත වී තිබූ අතර එම අවස්ථාවේ ඡායාරූප කොළඹ අගරදගුරු පදවියේ සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළ කොට තිබුණි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව පැවත්වුණු නව පාප් වහන්සේ තෝරා ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේද සහභාගී වූහ.

එහිදී, දින දෙකක් පුරා පැවති ඡන්ද විමසීමකින් අනතුරුව නව පාප් වහන්සේ ලෙස අමෙරිකානු ජාතික රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් තේරී පත් වුණා.
69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට් 267 වන පාප් වහන්සේ බවට පත්වූ අතර ඔහු 14 වන ලියෝ ලෙස හඳුන්වනු ලැබේ.

මිෂනාරීවරයෙකු ලෙස වසර ගණනාවක් ගත කර ඇති රොබට් ප්‍රොවොස්ට් හිමිපාණන්, පේරුහි අගරදගුරු පදවියද දරා තිබේ

(ඡායා :  FB page of News – Archdiocese of Colombo)

Continue Reading

ඡායාරූප සටහන

ලස්සන වෙන්නට –  සුවෙන් සිටින්නට “ලස්සන දන්සල” (ඡායා)

Published

on

By

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේදී ඊයේ (13) උදෑසන 7.00 සිට දවස පුරා විශේෂිත දන්සැලක් පැවැත්විණි.

මෙම දන්සැල නම්කර තිබුනේ ලස්සන වෙන්නට –  සුවෙන් සිටින්නට උපදෙස් දෙන “ලස්සන දන්සල” ලෙසය.

මෙම දන්සැල තුළින් රූපලාවන්‍ය සත්කාරක සේවා හා රූපලාවන්‍ය උපදේශන දානයක් ලෙස පිරිනමන ලදි.

කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයටම විවෘතව තිබූ මෙම දන්සැලේදී එහිදී කොණ්ඩා කැපීම, හිස සම්බාහනය, ඇහි බැමි සැකසීම, මුහුණු පිරිසිදු කිරීමේ සත්කාර, ඇස් වටා සම සැකසීම ආදී රූපලාවන්‍ය සත්කාරක සේවාවන් රැසක් මෙන්ම රූපලාවන්‍ය හා චර්ම විශ්ලේෂණය ඇතුළු උපදේශන සේවාවන් රැසක් නොමිළයේ ලබා ගැනීමට අවස්ථාව සලසා තිබිණි.

5000 කට අධික පිරිසක් මෙම රූපලාවන්‍ය දන්සැලෙන් සේවා ලබා ගත් බව වාර්තාවේ .

තරුණ කටයුතු  නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර,ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ  සුපුන් විජේරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞෂල්‍යා ආරියරත්න, මහරගම නගරාධිපති සමන් සමරකෝන් හා කොළඹ පුරපති අපේක්ෂිකා ව්‍රායි බල්තසාර් මහත්මිය ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වද මෙහිදී දක්නට ලැබිණි.

Continue Reading

ඡායාරූප සටහන

2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය අග්‍රාමාත්‍යවරිය අතින් විවෘත වෙයි

Published

on

By

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 12 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් විවෘත විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය පළ කළ අදහස්,

“විවිධ ජාතීන් වෙසෙන කොළඹ නගරයේ සියලුම දෙනා සාමුහිකත්වයෙන් පවත්වන මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය සුවිශේෂී වෙනවා. කොළඹ නගරය තුළ තියෙන ආගමික සහජීවනය මේ සදහා ඉතාම වැදගත් වෙනවා. මෙම සහජීවනය නිසාම තමයි අපිට විශාල දන්සල් ප්‍රමාණයක්, වෙසක් කලාප ප්‍රමාණයක් දැක ගන්න ලැබෙන්නේ. මේ දන්සැල් පවත්වන්නේ නගරයේ ඉන්න සියලු දෙනා එකතු වෙලා ඔවුන්ගේ මුදල් සහ ශ්‍රමය වැය කරලා.

ශ්‍රී ලාංකේය බෞද්ධ ප්‍රබෝධය, බෞද්ධ සංස්කෘතිය හා ජාතික අනන්‍යතාවය අපේ රටේ බෞද්ධයන්ට පමණක් නොව විදේශීය බෞද්ධයන්ටද විදෙස් සංචාරකයින්ට ද ලබාදීමට විහාරාධිකාරී කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ දරනු ලබන ප්‍රයත්නය අගය කළ යුතුයි.

ඒ වගේම ඊයේ කොත්මලේ ප්‍රදේශයේදී සිදු වුණ බස් රථ අනතුරින් මියගිය පිරිස හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉතාම සංවේගයෙන් මේ මොහොතේ මතක් කරනවා. එමෙන්ම තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.”
 යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved