Connect with us

ඡායාරූප සටහන

ජනපති ජාත්‍යන්තර රේගු දින සැමරුමට එක්වෙයි

Published

on

වත්මන්  ආණ්ඩුව රටේ ඉදිරි ගමන හා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් ගත හැකි සියලු තීන්දු ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පස්වරුවේ පැවති උත්සවයට එක් වෙමිනි.

“සමෘද්ධිමත් දේශයක් ගොඩනැඟීමට කාර්‍යක්ෂම රේගු දෙපාර්තමේන්තුවක් ”  යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර රේගු දිනය සැමරේ.

යුරෝපීය රටවල් 17ක සහභාගිත්වයෙන් එම රටවල් අතර රේගු සහයෝගිතාව සඳහා 1952දී රේගු සහයෝගිතා කවුන්සිලය  ස්ථාපනය කරනු ලැබූ  අතර ශ්‍රී ලංකාව 1967 වර්ෂයේදී එහි සාමාජිකත්වය ලබා ගත්තේය. 1994 වර්ෂයේදී මෙම රේගු සහයෝගිතා කවුන්සිලය ලෝක රේගු සංවිධානය වශයෙන් නම් කෙරිණි.

රේගු සහයෝගිතා කවුන්සිලයේ පළමු සැසිය 1953 ජනවාරි 26 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීම නිමිත්තෙන් එම දිනය ජාත්‍යන්තර රේගු දිනය වශයෙන් නම් කර තිබේ. ඒ අනුව සෑම වර්ෂයකම ජනවාරි 26 වන දින ලෝකයේ සියලුම රටවල ඇති රේගු පරිපාලන ආයතන, ජාත්‍යන්තර රේගු දිනය උත්සවාකාරයෙන් සමරයි.

යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව, සුරාබදු  දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතනවල  ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

නීතියක් හෝ ආයතනයක් ස්ථිර ලෙස එකම ආකාරයෙන් පවත්වා ගෙන යා නොහැකි බවත්, නීතියක් හෝ  ආයතනයක් යුගයේ තිබෙන අභියෝගවලට සරිලන ලෙස  වෙනස් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  මෙසේද පැවසීය

ගිය වසරේ රේගුවට පැවරී තිබෙන වගකීම ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ආර්ථිකය සමනය කිරීමට රේගුව දරන වෙහෙස ප්‍රශංසනීයයි.  පසුගිය වසරේ රේගුව අත්කර ගන්නා ලද ඉලක්ක පිළිබඳව ඇගයීමට ලක් කරනවා.  ආදායම් ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් කඩා වැටුණ රටක ආර්ථිකය ගොඩනඟන්න බැහැ.  ආර්ථික අර්බුදයෙන් පිය මනින්නට නම් ආදායම් ප්‍රතිශතය වැඩි කර ගත යුතුයි. ආර්ථිකය කඩා වැටීම නිසා ආනයන අපනයන වෙළඳපොළ හැකිළුණා.  අප සියලු කටයුතු සිදු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරාමිතීන්ට අනුවයි. එම නිසා මතුපිටින් ආර්ථික දේහය සුවපත් වී ඇති බව පෙනුණත් සම්පූර්ණ ආර්ථික දේහය තුවාල වී තිබෙනවා. එම නිසා ආර්ථික අර්බුදයෙන් සංයමයකින්   යුතුව පියමැනිය යුතුයි.  

කුඩා හෝ වැරදීමක් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කළ හැකියි. එම නිසා රේගු දෙපාර්තමේන්තුව විසින් ඉලක්කගත රුපියල් බිලියන 2550ක ආදායම සපුරා ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.

රේගුවේ පහසුකම් වැඩිදියුණු කිරීමට හා නව වැටුප් තලයක පිහිටුවීමට යෝජනාවක් අද ඉදිරිපත් කළා. ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයත් මහ භාණ්ඩාගාරයත් සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මෙවර අයවැය ලේඛනය මඟින් රාජ්‍ය සේවක මූලික වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය සහ තාක්ෂණය  එක් කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.  ශක්තිමත් ආයතන ව්‍යුහ ඇති කිරීම සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් කටයුතු කරනවා.

පසුගිය දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවා යාන්ත්‍රණය සම්බන්ධයෙන් යම් ප්‍රතිවිරෝධයක් තිබුණා. එම පැවති මතභේද නිසා ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීමට දේශපාලන අධිකාරිය ගෙන ආ ප්‍රතිසංස්කරණ නිවැරදි වෙලාවට සිදු කරන්නට වූයේ නැහැ.  නිවැරදි වෙලාවට යහපත් ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමට දුෂ්කර වූ කාලයක් තිබුණා.  නිවැරදි වෙලාවට ආයතන ව්‍යුහ වෙනස් නොකිරීම නිසා ඉන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසාම අප බොහෝ දේ අත්පත් කර ගැනීමට පෙර පිටස්තරයන්  අපේ දේවල් අත්පත් කර ගනු ලැබුවා. එම නිසා ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගෙන ගැනීමට තිබූ සමහර අවස්ථා රටක් ලෙස අපට අහිමි  වුණා.

ඉදිරියේදී ශ්‍රී ලංකා වරාය බහාලුම් ලක්ෂ 113ක මෙහෙයුම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුයි. ඒ සඳහා සේවකයින් සාමූහික ප්‍රයත්නයක් දැරිය යුතුයි. එසේ නොකර රටක් ලෙස ඉදිරියට යන්න බැහැ.

මේ වසරේදී රුපියල් බිලියන 2550ක ආදයම් ඉලක්කයක් රේගු දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.

 විශේෂ මෙහෙවරක් සිදු කළ රේගු නිලධාරීන් 20ක් ඇගයීම සදහා ලෝක රේගු සංවිධානය නිකුත් කර ඇති  සහතික පිරිනැමීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.  නිලධාරීන් දෙදෙනකු සඳහා කුසලතා සම්මානද මෙහිදී පිරිනැමිණි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා  විසින් රේගු සමරු තිළිණයක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  වෙත පිළිගැන්වීය.

 කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ,මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, නීතිපති පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුද , රේගු අධ්‍යක්ෂ ජනරාල්  සරත් නෝනිස් මහතා ඇතුළු රේගු දෙපාර්තමේන්තුවේ  නිලධාරීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ .

ඡායාරූප සටහන

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. මෙම අවස්තාව සදහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උනුසුම් අයුරින් පිළිගත් අතර රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි (ඡායා)

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved