Connect with us

ඡායාරූප සටහන

ජනසතු සේවා ක්‍රිකට් සම්මාන උළෙලින් (වීඩියෝ | ඡායා)

Published

on

ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ ජන සතු සේවා 16 වැනි සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

ඒ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා ජනසතු සේවා ක්‍රීඩා සංගමයේ සභාපති නලින් අපොන්සු මහතා ඇතුළු අර්ධ රාජ්‍ය හා බැංකු නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ද එක්ව සිටියේය.

මෙහිදී 2018 සිට 2024 දක්වා ජනසතු සේවා ක්‍රිකට් තරගාවලි වලට සහභාගි වී ජයග්‍රහණය කළ කණ්ඩායම් වලට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය.

ඊට අදාළ විශේෂ අවස්ථා පහත වීඩියෝවෙන්.

ඡායාරූප සටහන

රනිල් හා ත්‍රීවිල් අතර හමුවක්

Published

on

By

යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ ඊයේ (18) වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතු බවය.

එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බවත්, ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවත් ඔහු සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගය බවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයි. එක පැත්තකින් ගොවිතැන් කටයුතු කරනවා. අනෙක් පැත්තෙන් ත්‍රිරෝද රථ ධාවනය කිරීමෙන් ආදායම් උපයා ගන්නවා. 2022 – 2023 යල කන්නවලදි අපට හොඳ අස්වැන්නක් ලැබුණා. ඊට පසුව මහ කන්නයේදීත් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා. 2023-2024 වසරවලදිත් හොඳ අස්වැන්නක් හිමි වුණා. ඒ අනුව ගොවි ජනතාවගේ අතේ මුදල් ගැවෙසන්න පටන් ගත්තා. ගොවීන්ගේ වෙළෙඳාම දියුණු වීමත් සමඟ ගමනාගමනය වැඩි වුණා.

2023 වසරේදී විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්න පටන් ගත්තා. සංචාරකයන් පැමිණෙන නිසා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණා. එක පැත්තකින් ගොවීන් ආහාර වගා කරන්න උදව් කරනවා, අනික් පැත්තකින් ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබනවා. මේ අංශ දෙක තුළින් රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වීමට පටන් ගත්තා. මෙම ආර්ථික දියුණුව නිසා තමයි වසර දෙකක් අවසන් වීමට පෙර අපේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබුණේ. වෙන කිසිඳු රටක් මෙවැනි කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මිදී නැහැ. නමුත් බංකොලොත් භාවයෙන් නිදහස් වන අතරම ඩොලර් බිලියන 08ක පමණ ණය සහනයක් ලබා ගැනීමට අපට හැකි වුණා.

අද රට යම් ස්ථාවරත්වයකට පැමිණ තිබෙනවා. අප දැන් මෙතනින් ඉදිරියට යා යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ක්‍රියාත්මක කරනේ නැත්නම් රටේ ආර්ථිකය යළි කඩා වැටෙන්නේ නැතිව ඉදිරියට ගෙන යා හැකි වෙනත් විකල්පයක් තිබෙනවද? අප සියලුදෙනා ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළයුතුයි.

විශේෂයෙන්ම ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය දියුණුව පිළිබඳ මෙහිදී යෝජනා රැසක් ඉදිරිපත් කළා. අපි එම යෝජනා ඉදිරියේදී ක්‍රියාත්මක කළයුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මෙම වෘත්තියට සම්බන්ධ සංගම් සමඟත් අපට සාකච්ඡා කිරීමට සිදු වෙනවා. මේ වෘත්තියට වෘත්තීය රීති අවශ්‍යයි. වෘත්තීය රීති තිබිය යුතු බවට අප පිළිගන්නවා. ඒ වැඩ කටයුතු කරන ආකාරය ඔබ තීරණය කරන්න. සුබසාධනය ගැනත් අවධානය යොමු කළ යුතුයි.

අනාගතයේදී විශේෂයෙන්ම දේශගුණ විපර්යාස නිසා විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කරන විට මේ තිබෙන වාහනවලට ලබාදෙන සහනය කුමක්ද යන්න පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. ඒ සියල්ලම තවම ලෝකයේ පවතින්නේ මූලික අදියරකයි. ලෝකයේ රටවල් මේ සම්බන්ධව අත්හදා බැලීම්වල නිරතව සිටිනවා. අප ලෝකය දෙස බලා ඒ අනුව කටයුතු කළයුතුයි.

ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට දෙස් විදෙස් ආයෝජකයන් අවශ්‍යයි. ඒ තුළින් රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමට මෙන්ම අපනයන ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ආර්ථික දියුණුව ඇති වන විට පසුගිය අර්බුදය හමුවේ දුක් විඳි ජනතාව අප අමතක නොකළ යුතුයි. මේ රටේ සාමාන්‍ය ජනතාවටත් මෙම ආර්ථික දියුණුවේ ප්‍රතිලාභ ලබාදිමට මගේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙන බව කිවයුතුයි. එම ජනතාව වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. එහිදි මෙතෙක් සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කර තිබූ මුදල් ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම ප්‍රතිලාභී සංඛ්‍යාව ඉහළ නැංවිමට කටයුතු කළා.

රටේ නව ආයෝජන සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට අප ආරාධනා කරනවා. එසේම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු සාමාන්‍ය ජනතාව නගා සිටුවීමේ වැඩපිළිවෙළ අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව කිවයුතුයි.”

Continue Reading

ඡායාරූප සටහන

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හුවමාරුවේ සැමරුමක්

Published

on

By

ජාතික තරුණ සේවා සභාව, ජපන් සහයෝගිතා සංගමය [Japanese Solidarity Association(JSA)] සහ ජපාන තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද 2024 බොන් ඔදොරි උත්සවය මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභා  පරිශ්‍රයේදී පසුගිය දා (15)  පැවැත්විණි.

“බොන් ඔදොරි” යනු මුතුන් මිත්තන්ගේ ආත්මයන්ට ගෞරව කොට සමුදීම පිණිස සිදුකෙරෙන චාරිත්‍රානුකූල ජපන් උත්සවයකි. 

මෙවර උත්සවයට ශ්‍රී ලංකාවේ සහ ජපානයේ සිරිත් විරිත් ඉස්මතු කරන විවිධ ක්‍රියාකාරකම් සහ ඉදිරිපත්කිරීම් ඇතුළත් විය.

ජනප්‍රිය ජපන් ගීත වන “තෝකියො ඔන්දො” සහ “තන්කො බුෂි” යන ගීතයන්ට අනුව කොළඹ ජපන් පාසලේ සහ ලංකා නිප්පොන් බිස්ටෙක් ආයතනයේ [Lanka Nippon BizTech Institute (LNBTI)] සිසුන් විසින් ඉදිරිපත් කළ බොන් ඔදොරි නර්තනයක් මෙම උත්සවයට ඇතුළත්විය.

තුන්වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණි කීර්තිමත් ජපන් ගායිකාවක් සහ JICA හි දිගුකාලීන සහයිකාවක් වන මයෝ ෂෝනෝ මහත්මිය සිය සජීවී ප්‍රසංගය සමඟ එක්වූවාය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු මිසුකොෂි හිදෙඅකි, ජාතික තරුණසේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සහ ජපන් සහයෝගිතා සංගමයේ සභාපති හොත්තා මිකිනග යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

ඕස්ට්‍රේලියාවේදී ” මාස්ටර් චෙෆ් ” දිනූ සවින්ද්‍රි ලංකාවට එයි

Published

on

By

2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති ” මාස්ටර් චෙෆ් ” ඉවුම් පිහුම් තරගාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා මහත්මිය  ඊයේ  (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම තරඟය සජීවීව ලොව පුරා විකාශනය කර තිබිණි.

 කටුනායක ගුවන් තොටුපොළේ දී සිය අදහස් දැක්වූ සවින්ද්‍රි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය .

 “මට මෙම ඕස්ට්‍රේලියානු මාස්ටර් චෙෆ් තරගාවලියේ දී ජයග්‍රහණය සදහා මාවත සකස් කර දුන්නේ ශ්‍රී ලංකාවේ ආහාරපාන . මෙම තරගාවලියේ දී විශේෂයෙන්ම මම ශ්‍රී ලංකාවේ කිරිබත් , කළුපොල් මාලුව , මාළු මිරිසට හොදි සමග මෙන්ම සීනි සම්බෝල ද සකස් කර ඉදිරිපත් කළා . මම මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු භාවිතා කළා . ඒ නිසා ලෝකයේ අනෙකුත් තරගකාරී සූපවේදීන් පරදා මෙම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට හැකි වුණා.”

සවින්ද්‍රි පෙරේරා මෙම තරගාවලිය අවසන් වූ සැනින් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පියවර ගෙන තිබූ අතර , ඇය ඊයේ  (16) රාත්‍රී 10.40 ට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved