Connect with us

ඡායාරූප සටහන

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් (ඡායා)

Published

on

සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී පැවැත්විණි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,”අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට ” තේමාව යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව 58 වන වරට මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබිණි.

රජ සමයේ සිට පැවැත එන මෙම චාරිත්‍රය සදහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර “කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි” ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායි රටට, ජාතියට සෙත් පැතීමත් සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව මෙහිදී සිදු කෙරිණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක  මහතා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

අනුරාධපුර සිංහ කණුව අසල සිට පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීමත් සමඟ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කෙරිණි.  

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ විසින් අලුත් සහලින් රන් පාත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඉන් අනතුරුව සියලු පළාත් ආවරණය වන පරිදි රැගෙන ආ සහල්වලින් රන් පාත්‍රය පිරවීම සිදු කෙරිණි.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද රන් පාත්‍රය සහලින් පිරවීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්විය.

සාම්ප්‍රදායිකව ජයශ්‍රී  මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන මී පැණි පූජාව සඳහා පිරිසිදු මී පැණි බඳුන ආදිවාසී උපනායක ගුණබන්ඩියලා ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.

“58 වන ජාතික අලුත් සහල් මංගල්‍යය” සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර  මෙරට කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් දායකත්වය සැපයූ ගොවි නායකයින් වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.

වස විසෙන් තොර අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙන් පළාත් මට්ටමින්‌ ගොවි ජනතාව වෙත  බිත්තර වී බෙදා දීමටද මෙහිදී ජනාධිපතිවරයා එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ වත්මන් රජය විසින් වෙනස් කරමින් සිටින්නේ ඉබාගාතේ ගිය ආර්ථික සැලැස්මක් බවයි.  වී ගබඩා විනාශවීමට ඉඩ හැර, වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 2800ක  ණය බරක සිර කර තිබෙන බවද සඳහන් කළ ජනාධිපතිවරයා
එම සුන් බුන් ගොඩ නැවත ප්‍රතිසංස්කරණය කර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ වගකීම වත්මන් රජය  භාරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

එහිදී මෙරට කෘෂිකර්මාන්තයට අදාළ රාජ්‍ය යාන්ත්‍රණයේ සේම සමස්ත ගොවි ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවත්,  මෙරට සංස්කෘතික හර පද්ධතියද ඒකාබද්ධ කර ගනිමින් කෘෂි ආර්ථිකයේ උරුමය ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් යළි අත්පත් කර ගැනීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා  පැවසීය.

අපගේ පෙර රජ දරුවන් කෘෂිකර්මාන්තයට සහ වාරි කර්මාන්තයට කළ සේවාව මත ශ්‍රේෂ්ඨත්වයට පත්ව ඇති බවත්  රට අහරින්  ස්වයංපෝෂිත කිරීමට එය ඉතා වැදගත් වූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

අද වන විට තිරසර සංවර්ධනය පිළිබඳව ලෝකයේම කතිකාවක් ගොඩනැගෙමින් තිබෙන බවත්, ශ්‍රී ලාංකේය වාපි ශිෂ්ටාචාරය තිරසර සංවර්ධනයේ මහඟු උදාහරණයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා
වසර දෙදහසක් පමණ පැරණි මෙරට වාරි පද්ධතිය  කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා මේ වන විටත් තිරසරව දායක වෙමින් පවතින බවද ප්‍රකාශ කළේය.

එබැවින් වාරිමාර්ග පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය වෙනුවෙන් මෙවර අයවැයෙන්  රුපියල් බිලියන 02ක් වෙන් කළ බවත්,  මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා සදහන් කළේය. ජානවල අයිතිය ආරක්ෂා කරමින් බීජ වලින් ස්වංපෝෂිත රටක් බිහිකිරීම සඳහා බීජ ගොවිපොළවල් සංවර්ධනය කිරීමටද රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කෘෂි නිෂ්පාදන සඳහා ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් අවශ්‍ය බවත්, නමුත් දිගුකාලීනව වෙළඳපළ විකෘතිතාවයක් ඇතිව තිබෙන නිසා ඉදිරි කන්න දෙක, තුන තුළ රාජ්‍ය මැදිහත්වීමක් සිදුකර ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණ මිලක් ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු කිරීමට අවශ්‍ය පියවර මෙවර අයවැය මගින් සිදු කර ඇති බවත් වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ගබඩා කිරීම සඳහා ධාරිතා පහසුකම් ඇති කිරීමට පියවර ගෙන ඇති බවත්,  මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම තුළින් වෙළඳපොළ විකෘතිතාවය  මගහරවා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රුවන්වැලි චෛත්‍යාරාමාධිපති රජරට විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේ, ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරු  සහ ගොවි නායකයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved