අග්නිදිග ආසියාවේ බෞද්ධයන් අතර ඉතා ජනප්‍රිය ග්වෝචිං විහාරය (Guoqing Temple), චීනයේ ජ’ජියැං පළාතේ ටයිජෝ ප්‍රදේශයේ මනරම් පරිසරයක පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථානයකි.
හංජෝ නගරයේ සිට කිලෝමීටර් 220 ක් පමණ දුරින් පිහිටි ටියැන්ටායි කන්ද මත පිහිටා ඇති මෙම සිද්ධස්ථානය වෙත යන සංචාරයකයන්ට ගමන් කිරීමට ඇත්තේ නෙත්, සිත් පිරී යන, හරිත වර්ණයෙන් පිරුණු, ඉතා සුන්දර පරිසරයක් ඔස්සේය.
ග්වෝචිං විහාරයට දකුණු ආසියානු බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එය මහායාන බුදුදහමේ ටියැන්ටායි සම්ප්‍රදායේ තොටිල්ල ලෙස සැලකෙන බැවිනි.
ටෑං රාජවංශ සමයේදී (ක්‍රි.ව. 618-907) ටියැන්ටායි සම්ප්‍රදාය කොරියාව සහ ජපානය යන දෙකටම ව්‍යාප්ත වූයේ මෙම විහාරයෙනි.
සුයි රාජවංශ සමයේ දී ජ’යී (JiYi) නම් බෞද්ධ හිමිනම විසින් ආරම්භ කළ මෙම විහාරය, ටැන්ග්, සොන්ග්, යුවාන් සහ මිං රාජවංශ තුළදී කිහිප වතාවක්ම ප්‍රතිසංස්කරණය ලක්ව ඇත.
වර්ග අඩි 250,000 ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති මෙම විහාර භූමිය, ශාක්‍යමුණි මහා ශාලාව හා රහතුන් පන්සියයකගේ ශාලාව ඇතුළු ශාලා 14කින් හා කාමර 600 කින් පමණ සමන්විත වේ.
තවද, මෙම භූමියේ පිහිටා ඇති, මහල් 09කින් සමන්විත, මීටර 59.4ක් උසැති සුයි පැගෝඩාව, චීනයේ පවතින පැරණිතම ගඩොලින් නිමවූ පැගෝඩාවක් ලෙස සැලකේ.
සංස්කෘතික විප්ලවය අතරතුරදී විශාල වශයෙන් විනාශයට පත්වූ මෙම විහාරය, පසුව ටියැන්ටායි ප්‍රදේශයේ නිලධාරීන් විසින් පත් කරන ලද විහාර ප්‍රතිසංස්කරණ කමිටුව විසින් දැවැන්ත ප්‍රතිසංස්කරණයකට ලක්කරන ලදී.
මේ අතර, 2011 වසරේ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වෙත ලබාදුන් බුද්ධ ප්‍රතිමා අතරින් එකක්ද ග්වෝචිං විහාරයේ තැන්පත් කර තිබේ. විහාරස්ථාන මූලාශ්‍ර උපුටා දක්වමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව හා ග්වෝචිං විහාරය අතර සබඳතා වසර 200ක් තරම් ඈතට දිවෙන බවත්, විහාරයට පූජා කෙරුණු මෙම ප්‍රතිමාව, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තෙවැනි බුද්ධ ප්‍රතිමාව බවත්ය.
(සටහන හා ඡායා : ශානිකා ජයසේකර)