Connect with us

ඡායාරූප සටහන

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි

Published

on

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.

ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම  මෘදුකාංග හරහා සිදු කළ හැකිය.

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ලංකා පේ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත්  කටයුතු කරයි.

“Govpay ” වේදිකාව හරහා පළමු අදියර ලෙස රාජ්‍ය ආයතන 16ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12ක්ද මේ හා එක්වී සිටී.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.

ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.

ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක  වූයේ  කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.

මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම  රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින  බවත්, අද ඩිජිටල්කරණය  නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.

මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක්
ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන තුළ සම්පූර්ණ කළ යුතු  බවද විජේසූරිය මහතා සදහන් කළේය .

ජනාධිපති අරමුදල  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.

මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින
ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.

මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක,  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. මෙම අවස්තාව සදහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උනුසුම් අයුරින් පිළිගත් අතර රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි (ඡායා)

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved