Connect with us

ඡායාරූප සටහන

දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල විවෘත වේ (ඡායා)

Published

on

අනාගතයට ගැළපෙන පරිදි අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නවීකරණය නොකර රටේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දශක තුනහමාරකට අධික කාලයක් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධන වියදම් ලැබී නොමැති බවත්  මෙම වසරේ සිට අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැඩි ප්‍රාග්ධන වියදම් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දකුණු ආසියානු කලාපයේ  විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ ඉදිකරන ලද “ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල”   ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.

මහල් හයකින් යුත් මෙම රෝහල ඇඳන් 640කින්,  ශල්‍යාගාර 6කින්,  හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත අතර  අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

නිවාඩුවක් සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ දී මෙරටට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවති සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට්කෝල් මහතා සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය සියැසින් දැක ගැනීමෙන් අනතුරුව මෙම නව මාතෘ රෝහල ලබා දීම සඳහා ඉදිරිපත් විය.

රෝහල ඉදි කිරිම සඳහා ජර්මන් රජය විසින් දෙන ලද ණය ආධාර මුදල යුරෝ මිලියන විසි පහකි. (රුපියල් කෝටි 357කි)

මුල් අවස්ථාවේ රෝහලේ ඉදිකිරීම් සඳහා වෙන් කෙරුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ලබා ගැනීම සිදු වූ අතර මේ වන විට රෝහලේ සමස්ථ භූමි ප්‍රමාණය  පර්චස් දහසකට ආසන්න ය.
නව මාතෘ රෝහල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා  එහි නවීන ශල්‍යාගාර ඇතුළු පහසුකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

ජර්මානු රජයෙන් ලැබුණු මෙම පරිත්‍යාගය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන් (Felix Neumann)  මහතා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. 

එම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

එදා අපගේ වෛද්‍යවරුන්ට සිදු වුණේ මැලේරියාවට එරෙහිව සටන් කිරීමටයි. නමුත් දැන් වැඩිහිටි ජනතාවගේ සංඛ්‍යාව ඉහළ යාම සහ විවිධ රෝග ඇතිවීම නිසා සේඛ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග වැඩි වී තිබෙනවා. ඒ නිසා ඊට අනුරූපිව සෞඛ්‍ය සේවාවද පරිවර්තනය විය යුතුයි. 

ඒ වගේම මෙරට අධ්‍යාපන ක්‍රමයද පරිවර්තනයකට ලක් විය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා මෙතෙක් වැය කෙරුණු ප්‍රාග්ධන මුදල් සීමා සහිත වුණා. එදා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් යෙදවුණේ නැහැ. ඊට හේතුව යුද්ධයට විශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමයි. 

දෙවනුව අප ලබාගත් විශාල ණය ප්‍රමාණය නිසා එම පොළි ගෙවීමට වැඩි මුදලක් යෙදවීමට සිදුව තිබෙනවා. 1980 – 1989 මම අධ්‍යාපනය අමාත්‍යවරයා ලෙස කටයුත් කරන සමයේ අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කළා. නමුත් පසුව විවිධ හේතු නිසා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට අපට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් අප ඉදිරියේ දී මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

පසුගිය සමයේ අපට විශාල ලෙස ණය ගැනීමට සිදුවීම නිසා අපේ ආදායමෙන් 50%ක් වැය වන්නේ ණය සහ පොළී ගෙවීමටයි. මෙම වසරේ අයවැයෙන් ට්‍රිලියන 07කට වැඩි ප්‍රමාණයක් වැය කිරීමට නියමිතව තිබුණා. නමුත් එයින් ට්‍රිලියන 3.9ක් ණය ගෙවීමට වැය කිරීමට සිදුව තිබෙනවා. එයින් තුනෙන් එකක් ණය ආපසු ගෙවීමට සහ තුනෙන් දෙකක් පොළිය ගෙවිමට වැය කෙරෙනවා. ඒ වගේම තවත් ට්‍රිලියන 1.2ක් වැටුප් ගෙවීමට වැය වෙනවා. තවද පුනරාවර්තනය වියදම් වෙන් කළ පසු ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. එයිනුත් වාරිමාර්ග ඇතුළු එම කටයුතුවලටත් මුදල් වෙන් කළ යුතුයි.

මෙම තත්ත්වය සමග අපට රටක් ලෙස ඉදිරියට යාමට නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියනු සංවර්ධන බැංකුව කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු වන ලෙස අපට දැනුම් දී තිබෙන්නේ එම නිසයි. රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමේ දී පළමු තීරණය වූයේ මේ වසරේ වියදමට අවශ්‍ය මුදල් රට තුළින් උපයා ගැනීමයි. අපට කෙසේවත් දැන් මුදල් මුද්‍රණය කිරීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට බැහැ. අපට අවශ්‍ය ආදායම් රට තුළින්ම උපයාගෙන ඉදිරියට යාමට සිදුව තිබෙනවා. 

එහිදී තිබූ එකම මාර්ගය වූණේ බදු වැඩි කිරීමයි. සියලුදෙනා අපට දොස් කිව්වා. නමුත් මෙම පියවර නිසා පළමු වතාවට අයවැය සඳහා මුදල් මුද්‍රණය කිරීමට අපට සිදු වුණේ නැහැ. මෙහිදී සියලුදෙනා මුහුණදුන් අසීරුතාව පිළිබඳ අපට අවබෝධයෙක් තිබෙනවා. නමුත් බදු මුදල් වැඩි කිරීම නිසා අද අපට අය වැය සඳහා ණය ලබා ගැනීමට සිදුවුණේ නැහැ. එහි ප්‍රතිඵල අද රට තුළ දක්නට තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව 370ට තිබු රුපියලේ අගය දැන් 300ට පහළ බැස තිබෙනවා. ඉදිරියේදී තවත් එය පහළ අගයකට එනවා. එවිට රුපියල ශක්තිමත් වෙනවා. 

ඒ වගේම උද්ධමනය අඩුවීම නිසා පොලි අඩු කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එවිට ව්‍යාපාර දියුණු වෙනවා. ව්‍යාපාර දියුණුවීමත් සමඟ රට දියුණු වෙනවා. අසීරුවෙන් වුවත් ගත් පියවර නිසා අද රටට ප්‍රතිලාභ ලැබී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට අප පියවර ගත්තා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට ලබාදෙන් අස්වැසුම ප්‍රතිලාභය තුන් ගුණයකින් ඉහළ නැංවීමට මෙන්ම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කටයුතු කළා. මේ හා සමගාමීව පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ සමග තව වසර 02ක් පමණ ඉදිරියට  යන විට අපට ණය ගෙවීමට තිබෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. එම මුදල් රටේ සංවර්ධනයට යෙදවීමට හැකියාව ලැබෙනවා. 

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ නවීකරණයක් නොකර අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් තැබිය නොහැකියි. 30 දශකයේ අප දියුණුවක් ලැබුයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබු දියුණුව නිසයි. ඒ වගේම 80 දශකයේ අප ඉදිරියට ගියේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නිසයි. අද ලංකාව තුළ පමණක් නොවෙයි එක්සත් රාජධානියේ සෞඛ්‍ය ක්‍රමය ද ක්‍රියාත්මක වන්නේ අපේ වෛද්‍ය සේවාවන් නිසා. ඒ නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශය වෙනුවෙන් අවශ්‍ය මුදල් අපම උපයා ගනිමින් එම ක්ෂේත්‍රවල සීග්‍ර සංවර්ධනයක් ඇති කරමු කියා මම ප්‍රකාශ කරනවා. 

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 
අති නවීන  අංග සම්පූර්ණ මාතෘ රෝහලක් ලබාදීම සම්බන්ධයෙන්  ජර්මන් හිටපු චාන්සලර් හෙල්මට් කෝල් මහතාට ස්තූතිවන්ත වෙනවා.  මා 2010 වසරේ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණෙන විට  සිහින දෙකක් තිබුණා. සුනාමියෙන් විපතටමත් ගාල්ල බස් නැවතුම්පොල නැවත සකස් කිරීම සහ  එවකට වැඩ නැවතී තිබූ ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහල ඉදිකර ගැනීම එම සිහින දෙකයි.  2010 වසරේදී ගාල්ල බස් නැවතුම්පොළ  ඉදිකර ගැනීමට හැකි වුණා . ඒ වකවානුව වන විට මෙම රෝහලේ අත්තිවාරම් කණු  26ක් පමණක් ඉදිකර තිබුණා. මෙම රෝහල ඉදිකර ගැනීම සඳහා පැවති රජය සහාය ලබා දුන්නා. අද වන විට මෙම රෝහලේ  ඉදිකිරීම් සාර්ථක නිම කර ජනතාවට ලබාදීමට හැකි වී තිබෙනවා. 

2024 අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන් කළ මුදලින් කරාපිටිය රෝහල සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වෙන් කර තිබෙනවා. ශල්‍ය ඒකකය, දන්ත ඒකකය, මහාචාර්ය ඒකකය සහ ආඝාත ඒකකය සඳහා  රුපියල් කෝටි100ක් හා වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි සීයක මුදලක් වෙන් කර තිබෙනවා. කරාපිටිය රෝහල  තාක්ෂණයෙන් සහ ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික රෝහලට පමණයි. අද එකතු වන මාතෘ රෝහල සමඟ කරාපිටිය රෝහලේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට හැකියාව ලැබෙනවා.

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්‍රි මහතා 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මීට වසර දෙකකට පමණ පෙර රට බාරගත් දිනය සහ අද දිනය දෙස  බැලූ විට විශාල වෙනසක් රට තුළ සිදුව තිබෙනවා. එතුමාගේ තිබෙන විදේශ සබඳතා ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීමට මහත් රුකුලක් වුණා. එහි එක් උදාහරණයක් පෙන්වා දෙනවා නම් ඉරානයට අප තිබූ ණය ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේ සිට ගෙවීම ආරම්භ කර අද වන විට  එම ණය ගෙවා අවසන් කර  ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය රැදවීමට කටයුතු කළා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා
නිදහස් සේඛ්‍ය සේවාවක් ලැබෙන ශ්‍රී ලංකාවේ  ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව වර්ධනය වී තිබෙනවා. ඒ අනුව කාන්තාවකගේ ආයු අපේක්ෂාව සියයට අසූවක් වන අතර පිරිමියෙකුගේ ආයු අපේක්ෂාව 76ක් වෙනවා. රෝග ගණනාවක් මැඩලීමට අපේ සෞඛ්‍ය සේවාවන්ට මේ වන විටත් හැකි වී තිබෙනවා. ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබෙනවා. ඒ වගේම විශිෂ්ට ශල්‍යකර්ම සිදු කිරීමේ හැකියාව ඇති වෛද්‍යවරුන් පිරිසක් අපගේ සෞඛ්‍ය සේවයේ සිටිනවා. එය මෙරට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවයයේ එක් ලක්ෂණයක්. මේ සියලු සේවාවන් මගින් ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය මට්ටම උසස් කිරීමට හැකියාව ලැබෙන බව කිවයුතුයි.

ජර්මානු තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා
මෙම රෝහල නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී තිබෙන අතර ගාල්ලේ සහ දකුණු පළාතේ ජනතාවගේ පූර්ණ ප්‍රයෝජනය සඳහා මෙම රෝහල පවත්වාගෙන යාමේ වගකීම දැන් ශ්‍රී ලංකා රජය  සතු වෙනවා. 
මෙම රෝහල විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීම පිළිබඳ ජර්මන් රජය විශේෂයෙන් සතුටට පත් වෙනවා. මේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යතුමාට සහ එම අමාත්‍යාංශයේ අනෙකුත් නිලධාරීන්ට මම මගේ සුබ පැතුම් පිරිනැමීමට කැමතියි. මෙම රෝහල සාර්ථකව ක්‍රියාත්මක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා වගේම ඒ වෙනුවෙන් මෙහි සිටින කාර්ය මණ්ඩලයේ සියලුදෙනාටම මම සුබ පතනවා. ජර්මනිය සැමදා ශ්‍රී ලංකාවේ මිතුරෙක්. ඉදිරියටත් එම මිත්‍රත්වය අඛණ්ඩව පවතිනවා. 

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරළ, හිටපු කතානායක කරු ජයසූරිය,  හෙල්මුට් කෝල් ගාල්ල මාතෘ රෝහල් පදනමේ වැඩ බලන සභාපති ජගන් වර්ත් ( Jurgen Weerth) යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ පැවැත්වූ ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙති

Published

on

By

නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරනු ලැබිණි.

නියෝජිත පිරිසට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූහ.

මැයි 26 වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයක් සහ දැනුවත් කිරීමේ සැසියක් සමඟ වැඩසටහන ආරම්භ විය. අනතුරුව ලෝක් සභාව, රාජ්‍ය සභාව, ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට ද පිරිස එක්වූ අතර ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳව එහිදී හදුන්වාදීම සිදු කෙරිණි.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක්වූහ. ඒකාබද්ධ ලේකම් ශ්‍රී එච්. රාම් ප්‍රකාශ් සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ශ්‍රී මුරලීධරන් පී. විසින් මෙහෙයවන ලද මෙම සැසිය, මූලික මූල්‍ය කාරක සභා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හදුන්වා දීම සිදු කෙරිණි.

මෙම කාරක සභාව විසින් විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම සිදුකරන අතර මෙම කමිටුවේ කටයුතු මාධ්‍ය සඳහා විවෘත නොවේ.

දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා (DRSCs) පිළිබඳව සැසිය ගරු හිටපු මන්ත්‍රී සත්‍යපාල් සිං විසින් මෙහෙයවන ලදී. විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීම්  සම්බන්ධව මෙම කමිටුව විසින් විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

පාර්ලිමේන්තුවේ අසනු ලබන ප්‍රශ්න සහ පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි. එරට ප්‍රශ්න වේලාව තුළ දිනකට ප්‍රශ්න 20 කට අවසර දී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදී.

අමාත්‍යවරුන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14 ක දැනුම් දීමේ කාල සීමාවක් ලබා දෙන බවත් පෙ.ව. 10:30 වන විට ලිඛිත පිළිතුරු සභා මේසය මත තැබීම සිදු කරන බවත් මෙහිදී සාකච්ඡා විය.

ඉන්දියාවේ ශක්තිමත් අධීක්ෂණ සහ ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීම මෙමගින් සිදුවූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංසන්දනාත්මකව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය.

මැයි 28 වන බදාදා, දූත පිරිස දිල්ලියේ පිහිටි ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරියේ (Unique Identification Authority of India /UIDAI) මූලස්ථානයට ගියහ. එහි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී බුවනේෂ් කුමාර්, විසින් ඔවුන් පිළිගනු ලැබූ අතර  ඉන්දියාවේ ජෛවමිතික හඳුනාගැනීමේ පද්ධතිය වන AADHAAR යටතේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අවබෝධය  ලබාදීම මෙහිදී සිදුවිය. ජෛවමිතික සත්‍යාපනය, දත්ත ආරක්ෂාව සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය සේවා සැපයීමේදී AADHAAR ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඇතුළුව එහි මූලික සංරචක පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරියා විස්තර කළේය.

සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ගරු ශ්‍රී ඕම් බිර්ලා මහතා හමුවිය. සාකච්ඡාවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා අවධාරණය කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ අවශ්‍යතාව කථානායකවරයා අවධාරණය කළේය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේදී ඩිජිටල් නවෝත්පාදනයේ පරිවර්තනීය කාර්යභාරය ද මෙම සංවාදයේදී ඉස්මතු විය.

නියෝජිත පිරිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පර්යේෂණ සහ තොරතුරු පද්ධතිය (Research and Information System for Developing Countries /RIS) නැරඹීමට ගිය අතර එහිදී සංවර්ධන උපාය මාර්ග සහ ගෝලීය සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සචින් චතුර්වේදි මහතා සමඟ සම්බන්ධ විය.

සංචාරය අතරතුර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවූ මෙරට දූත පිරිස කලාපීය සහයෝගීතාව, ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා  ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව සාකච්ඡා කළහ.

මෑතදී පහල්ගම් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරමින් ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ දූත පිරිස, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් සහ සාමය සහ ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය කැපවීම නැවත අවධාරණය කළේය.

මැයි 29 වන බ්‍රහස්පතින්දා, නියෝජිත පිරිස අග්‍රා වෙත සංස්කෘතික සංචාරයක් කළ අතර එහිදී ඔවුන් ඓතිහාසික ටජ්මහල සහ රතු කොටුව දැකබලා ගැනීමට එක්වූහ.

ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට, මහජන නියෝජිතයන්ට පක්ෂ මාරුවීම් විරෝධී නීතිය, ආණ්ඩුපක්ෂ හා විපක්ෂ සංවිධායකවරුන්ගේ  කාර්යභාරය, ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමඟ අන්තර්ක්‍රියා ආදී සාකච්ඡා ගණනාවක් ඇතුළත් විය.

මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි.

Continue Reading

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved