Connect with us

ඡායාරූප සටහන

දැන්  පරණ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වෙලා තියෙනවා.

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව පසුගිය දා (14) පැවත්විණි.

මෙහිදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ වෘත්තිකයාත්, ප්‍රතිලාභ ලබන පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන බවය.

 අනුර කුමාර දිසානායක මහතා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්,

“අපේ රටේ සියලුම ක්ෂේත්‍ර කඩා වැටීමට ලක්වී තිබෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය වැනි ක්ෂේත්‍රද ඇතුළත්ව සුබවාදී බලාපොරොත්තුවක් තැබිය හැකි එකදු ක්ෂේත්‍රයක්වත් නැහැ. අපේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා; ලෝකය ඉදිරියේ බාල්දු වූ, අපකීර්තියට පත්වූ රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. අපේ රට හෝ අපේ ජනතාව මේ ව්‍යසනයේ ගොදුරු බවට පත්නොවිය යුතුයි. මෙය වෙනස් කළ යුතුයි. අපි කිසිවෙකුත් මේ ඛේදවාචකය පසෙකට වී බලාගෙන සිටීම යුක්තිසහගත නැහැ. පළමුව අපි දේශපාලන ජයග්‍රහණය අත්පත් කර ගත යුතුයි. අපේ වුවමනාව තිබූ පමණින් දේශපාලන පරිවර්තනයන් සිදුවෙන්නේ නැහැ. ඒ සඳහා කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුයි. එකක් තමයි, පාලකයාට තවදුරටත් තමන්ගේ පාලනය සුපුරුදු ආකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම. දෙක ජනතාවට තවදුරටත් පැරණි ආකාරයට තම ජීවිත පවත්වාගෙන යාමට නොහැකි වීම. අද අපේ රටේ අලුත් දේශපාලන පරිවර්තනයකට අවශ්‍ය තත්වයන් මෝරා තිබෙනවා. මේ ඇතිවී තිබෙන තත්වයන් ඉතා හොඳින් කළමනාකරණය කර, මෙහෙයවා ජයග්‍රහණය කරා ගෙනයා නොහැකි නම් එතන අපේ ප්‍රශ්නයක් තිබෙනවා.

අපි සිටින්නේ ලංකාවේ තීව්‍රතම දේශපාලන ගැටුම අද්දරයි. ඒගොල්ලන් මේ මැතිවරණය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් පොම්ප කරනවා. මැතිවරණය වෙනුවෙන් විශාල පහසුකම් සහිත කාර්යාල මිලදීගෙන තිබෙනවා. මුදල් යොදවමින් ලෝකයේ ඇතිවී තිබෙන නව තාක්ෂණයේ වෙනස්කම් මැතිවරණය වෙනුවෙන් උපයෝගී කර ගැනීමට කටයුතු සකස්කොට තිබෙනවා. විශාල මාධ්‍ය මෙහෙයුම සහිත මැතිවරණය බවට පත්වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක සිදුවිය හැකි ගැටුම්කාරිත්වය අවම ප්‍රජාතන්ත්‍රවාදී සීමාව බිඳීම දක්වා වර්ධනය වෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුරය පැයකට වත් හිස් වෙන්න බැහැ. ජනාධිපති ඡන්දය, ධුරය අවසන් වෙන්න මාසයකට පෙර හා මාස දෙකක් නොඉක්මවන කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අනෙක් සෑම ඡන්දයක්ම ධුර කාලය අවසන් වුණාම පැවත්විය යුතු වුවත් ජනාධිපති ඡන්දය ධුර කාලය අවසන් වීමට ප්‍රථම පැවැත්විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරනු ලබන ජනාධිපතිවරයෙක් විසින් හොබවන්නේය. ජනතාව විසින් ඒ සඳහා ජනාධිපතිවරයා පස් අවුරුදු කාලයකට තෝරා ගන්නේය. මෙය තවදුරටත් පහක්ද, හයක්ද කියා බැලිය යුතු නැහැ. ව්‍යවස්ථාවේ 125 වගන්තියේ ව්‍යවස්ථාවේ නීතීන් පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා තුනකදී ධුරය අවුරුදු පහක්  බව අර්ථ නිරූපණය කොට තිබෙනවා. ආයිමත් නඩුවක් දමා තිබෙනවා 19 වැනි සංශෝධනය සම්මත වුණු ආකාරය වැරදියි කියා. 19 වැනි සංශෝධනය සම්මත වුණේ 2015 මැදයි. අවුරුදු 09කට පස්සෙ 19 සම්මත වූ ආකාරයේ වැරදි නිවැරදිභාවය අහනවා. 19 වැනි සංශෝධනයේ බලය අවස්ථා කිහිපයකදී පාවිච්චි කළා. මේවා සාම්ප්‍රදායික දේශපාලනයේ සිදුවෙන ඒවා නොවෙයි. මේවායින් පෙන්නුම් කෙරෙන්නේ මේ දේශපාලන ගැටුමේ තිබෙන තීව්‍රතාවයේ තරමයි. මෙසේ වන්නේ ඇයි? මේ සිදුවන්නේ සුවිශේෂී දේශපාලන පරිවර්තනයක්. එම පරිවර්තනය වැළැක්වීම සඳහා ප්‍රතිපාර්ශ්වයන් බලය, මාධ්‍ය, ව්‍යවස්ථා, පාර්ලිමේන්තු, නීති සියල්ල උපයෝගී කර ගනිමින් තිබෙනවා. අප සතුව තිබෙන්නේ ඔබගේ බලය පමණයි. මහජනතාව සංවිධානය කරලා, මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන එක මත තමයි අපේ ජයග්‍රහණය රඳා පවතින්නේ.

විසිරිලා සිටි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් කණ්ඩායමක් ලෙස එක තැනකට ගොනුකරමින් පෙන්නුම් කර තිබෙන්නේ, අපට මේකට මුහුණ දෙන්න පුළුවන් කියන  එකයි. ඔබ විවිධ වෘත්තිය සමිති නියෝජනය කරනවා ඇති. ඒවා එලෙසම පැවතුණාවේ. හැබැයි මේ දේශපාලන පරිවර්තනය වෙනුවෙන් වෘත්තීය සමිති සීමාවන් පමණක් නොවෙයි, වෘත්තීන්ගේ සීමාව ඉක්මවා ගිය සාමූහිකයක් බවට අපි පත්විය යුතුයි. මෙවැනි සාමූහිකවල බලයක් නොමැතිව දේශපාලන බලය අත්පත් කර ගන්න බැහැ. අත්පත්කර ගන්නා බලය රැක ගන්න, ක්ෂේත්‍ර ගොඩනඟන්න, මේ සාමූහික ක්‍රියාදාමය අත්‍යවශ්‍යයි.

1917 රුසියන් විප්ලවය සිදුවුණාට පස්සේ ලෙනින් කියනවා “පරණ ඇඳුම් ගලවා අලුත් ඇඳුම් ඇඳ ගැනීමේ කාලය උදා වී තිබේ” කියලා. අපටත් එය අදාළයි. දේශපාලන පක්ෂ බෙදීම්, වෘත්තිය සමිති බෙදීම්, වෘත්තිමය බෙදීම්, තියෙන්න ඇති ඒ සියල්ල පසෙක තබා අපි එකට එකතු විය යුතුයි. මේ ජයග්‍රහණය අත්පත් කර ගැනීම සඳහා වෙහෙස වෙමු, මැදිහත් වෙමු. ඡන්දය පැවැත්වේවිද, නැද්ද කියා කිසිදු දෙගිඩියාවක් තබා ගන්න එපා. මේ 17 වැනිදා මැතිවරණ කොමිසමට බලය පැවරෙනවා, මේ මාසය අග වෙනකොට මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කරනවා. අනිවාර්යයෙන් මැතිවරණය පැවැත්වෙනවා. ඊළඟට අපි මේ රට හදන්න ඕනෑ. නිදහස ලබා වසර 76ක් ගෙවුණත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය ගොඩනගන්න බැරිවෙලා තිබෙනවා. සැකය, අවිශ්වාසය, ක්‍රෝධයෙන් පිරුණු රාජ්‍යයක් බවට පත්වෙලා තිබෙනවා. ජාතීන් අතර  සමගිය ගොඩනැගිය යුතුයි. අපේ රටේ නීතිය, තෝරු මෝරු ගැලවෙන හාල්මැස්සන් අහුවෙන නීතියක්. නීතිය ඉදිරියේ හැමෝම සමානයි කියන එක සංකල්පයක් නොවී එය ප්‍රායෝගිකව ක්‍රියාවට නගන පාලනයක් අපි නිර්මාණය කළ යුතුයි.

අපට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහි නියැලෙන වෘත්තිකයාත්, ප්‍රතිලාභ ලබා ගන්නා පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් අපි ස්ථාපිත කරනවා. ඒ වගේම ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තියක් අපට අවශ්‍යයි. ලෝකය සන්නිවේදනයෙන්, වෙළඳපොළෙන්, ගමනාගමනයෙන් ගැටගැසී තිබෙනවා. කුඩා වී තිබෙන ලෝකයේ හුදකලා වී නොසිට අන්තර් සම්බන්ධතාවයන් ගොඩනඟා ගනිමින් ලෝකයත් සමග ඉදිරියට යා යුතුව තිබෙනවා. සමහර රාජ්‍යවල සමාගම් සල්ලි දීලා අපේ නායකයන්ව ගත්තා. සමහර ව්‍යාපෘති සිදුවුණේ, සමහර දේශපාලන තීන්දු තීරණ ගනු ලැබුවේ සමාගම්වල සල්ලිවලට මිසක් විදෙස් ප්‍රතිපත්ති අනුව නොවෙයි. හැබැයි ලෝකයේ කිසිදු සමාගමකට අපිව මිලදී ගන්න බැහැ. ජාතික සමගිය, නීතියේ විධානයේ ආධිපත්‍යය, ශක්තිමත් රාජ්‍ය සේවය, ශක්තිමත් විදෙස් ප්‍රතිපත්තිය, වංචා-දූෂණය-නාස්තියෙන් තොර පාලනය නැතිව මේ රට හදන්න බැහැ.
 
ආර්ථික අර්බුදය ප්‍රකාශ වෙන්නේ කොහොමද? ලෙඩට බෙහෙත් හිඟකම, අධ්‍යාපනයෙන් ඉවත් වීම, වෘත්තියවේදීන් රට හැර යෑම වැනි ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලින් අර්බුදය ප්‍රකාශ වෙනවා. මේ අර්බුදය විසඳීමට නම් භාණ්ඩාගාරයට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩිකර ගත යුතුයි. 2024 ආණ්ඩුව අපේක්ෂා කරනවා රුපියල් බිලියන 4168ක ආදායමක්. ආණ්ඩුවේ වියදම ණය වාරික, පොලී වාරික, ආණ්ඩුවේ වියදම සමගින් රුපියල් බිලියන 11,277යි. එහෙම නම් භාණ්ඩාගාරයට ධනය ලබාගන්නේත් ඒ ධනය රැක ගන්නේත් කෙසේද? භාණ්ඩාගාරයට එන්න තිබෙන එහෙත් වෙන පාරවල්වල යන ධනය ලබා ගන්නේ කෙසේද? භාණ්ඩාගාරයට එන ධනය නාස්ති කරනවා. ධනය හැදෙන්නේ එළියේ. ආණ්ඩුව ධනය උපදවන්නේ නැහැ. එළියේ හැදෙන ධනය තව තව උත්පාදනය කරන්න ඕනෑ. ධනය උත්පාදනය කළ හැකි අවස්ථාවන් අපි කල්පනා කර තිබෙනවා. අපිට ඒ සඳහා අවශ්‍ය සම්පත් තිබෙනවා. තාක්ෂණය හා අවශ්‍ය ප්‍රාග්ධනය නැතිනම් විදේශීය ආයෝජන අපි කැඳවන්න ඕනෑ.

ලෝකය වේගයෙන් ඉස්සරහට යන්නේ අලුත් තාක්ෂණයත් එක්ක. විසිවන සියවසේ සෑම ක්ෂේත්‍රයකම විශාල පරිවර්තනයන් සිදුවුණා. ලෝකයට අවශ්‍ය ආහාර, මිනිසුන්ගේ ආයු කාලය වැඩිකිරීම විසිවන සියවසට පෙර කරන ලද පර්යේෂණයන් නිසා අත්පත් කරගත ජයග්‍රහණයන්ගේ ප්‍රතිඵලයන්. ඒ ජයග්‍රහණයන් අපේ ආර්ථිකයත් එක්ක ගැටගහගෙන ඉස්සරහට ගෙනියන්න අපි අසමත් වුණා. නවීන තාක්ෂණයේ වර්ධනයන් අපේ ආර්ථිකයට යොදා ගන්නේ කෙසේද යන්න හිතන්න ඕනෑ. අපි පර්යේෂණ හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොදන්න ඕනෑ. අද බදු ගහමින් ආර්ථිකය හිර කරලා තිබෙන්නේ. මේක හොඳට චලනය වෙන්න දෙන්න ඕනෑ. ඒකට අවශ්‍ය පහසුකම් ටික සලසන එක අපේ වගකීමක්. ලෝකෙට අවශ්‍ය වන භාණ්ඩ හා සේවා පිළිබඳ අපි කල්පනා කරන්න ඕනෑ.  මෘදුකාංග ක්ෂේත්‍රයේ, නාවුක කර්මාන්තයේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ සේවා නිෂ්පාදන අත්පත් කර ගන්නේ කෙසේද යන්න සලකා බැලිය යුතු වෙනවා. ලෝකයේ අයි.ටී. ක්ෂේත්‍රය වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. 2030 වන විට ලෝකෙට නව මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 19 ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයේ ඉතා හොඳ විභවයක් තිබෙනවා. රැකියා අවස්ථා ඇතිවී ආර්ථිකයට මිනිසුන් සම්බන්ධ කර ගැනීමෙන් රුපියල් අර්බුදයටත්, ඩොලර් අර්බුදයටත් විසඳුම් සොයන්න හැකිවෙනවා. රැකියා ඇති වෙන්නේ නැතිනම් ආර්ථිකය මේ ආකාරයෙන්මයි තියෙන්නේ. මිනිසුන්ගේ දුප්පත්භාවය නැතිව යන්නේ එතැනින්. ඌව පළාත වැනි ප්‍රදේශවල ජනතාව ආර්ථිකයෙන් විතැන්කොට තිබෙන්නේ. ඒ ජනතාවට නව ආර්ථික ප්‍රභවයන් ලබාදිය යුතුයි. ග්‍රාමීය දුප්පත්භාවය නැතිකරන්න හැකි වන්නේ එතකොටයි. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට අපි නිරෝගී සම්පන්න සමාජයක් වෙන්න ඕනෑ. ආර්ථික ජයග්‍රහණ අත්පත් කර ගන්නත් අපි නිරෝගී සම්පන්න ජාතියක් අවශ්‍යයි. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ විසින් නිරෝගී සම්පන්න ජාතියක් බිහි විය යුතුයි.

වෘත්තියවේදීන් රට අත්හැර යාම නවත්වන්න නම්, අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසයක් සහ ස්ථිරත්වයක් ගොඩනඟන්න ඕනෑ. ඒ වගේම වෘත්තියට සරිලන වැටුපක්, අනුග්‍රහයක් ලබාදිය යුතුයි. ඔබගේ වෘත්තියේ ආරක්ෂාවත්, අනන්‍යතාවත් රැකෙන ආකාරයේ සේවා ව්‍යවස්ථාවක් අපි හදනවා. ලෝකයේ ඉදිරියට යාමට පශ්චාත් උපාධි අවශ්‍යයි. දියුණු රටවල් වැඩි වශයෙන් අවධානය යොමුකොට තිබෙන්නේ පශ්චාත් උපාධි ආයතනවලටයි. අපිට පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන නැහැ. ලෝකයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් උඩ තමයි පර්යේෂණ සිදුවෙන්නේ. අපි අධ්‍යාපනයේ ඊළඟ පියවර ලෙස වෘත්තිමය ක්ෂේත්‍රය උඩට ගන්න නම් පර්යේෂණ ක්ෂේත්‍ර ගේන්න නම්, පශ්චාත් උපාධි විධිමත්භාවයට පත් කළ යුතුයි. විසිරී තිබෙන දුර්වලභාවයට පත්වී තිබෙන, අක්‍රමවත්ව තිබෙන අපේ ආර්ථිකයත් අධ්‍යාපනයත් නිපුණතාවයනුත් ඉදිරියට ගැනීමේදී වැදගත් වන පශ්චාත් උපාධිය කෙරෙහි අවධානය යොමුකරනවා. අපිට හොඳ අදහස්, සංකල්ප තිබෙනවා. මේ පාදඩ, කැත දේශපාලනය වෙනස් කළේ නැත්නම් අපේ රටට අඟලක් හෝ ඉදිරියට යන්න බැහැ. ඒ සඳහා මේ ජනාධිපතිවරණය වැදගත් වෙනවා. ඒ සඳහා අපි මැදිහත් වෙමු. ජනතාවට කතා කරන්න. මේ පරිවර්තනයේ කොටස්කරුවන් බවට පත්වෙන්න”

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved