Connect with us

ඡායාරූප සටහන

දේශපාලන වෛරසය නිට්ටාවට සුවවන ඖෂධයක් ගැන අනුර කියයි

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ “ජාතික හෙද සමුළුව ” ඊයේ (28) දින තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙහිදී සභාව ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කලේ රට විනාශ කළ දේශපාලන වෛරසය නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් ලබා දිය යුතු බවය. 

මෙහිදී අනුර කුමාර දිසානායක මහතා පැවැත්වූ සම්පූර්ණ කතාව, 

“ජනාධිපතිවරණය ඡන්දය  සඳහා දින ප්‍රකාශ කළාට පසුව පවත්වන පළමු සමුළුව තමයි සමස්ත ලංකා හෙද සංගමයේ සමුළුව. ඔබ අපට විශාල විශ්වාසයක්, ධෛර්යයක්, ජයග්‍රහණය පිළිබඳව සහතිකයක් ලබාදී තිබෙනවා. අපි පොදුවේ හැමෝම සෑම අතින්ම ලෙඩ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය සෑම පැත්තකින්ම ලෙඩවෙලා. අපේ ආර්ථිකය සුවදායී තත්වයක තිබෙනවාද? ආර්ථිකයේ කඩා වැටීම සෑම ක්ෂේත්‍රයකටම ගලාගෙන යමින් තිබෙනවා. ආර්ථිකය පමණක් නොවෙයි ජාතියත් අද ලෙඩ ජාතියක් බවට පත්වෙලා තිබෙනවා. ගිය වසරේ ලංකාවේ මරණවලින් එක්ලක්ෂ තිස්හත්දාහක් නැතිනම් මරණවලින් 80%ක් සිදුවී තිබෙන්නේ බෝ නොවෙන රෝගවලින්. අවුරුදු 35ට වඩා අඩු අයගෙන් 15%ක් දියවැඩියා රෝගයෙන්ද, 35%කට ආසන්න ප්‍රමාණයක් හෘද රෝගවලින්ද පෙළෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජාතිය ලෙඩ වී තිබෙනවා. තරුණ පරම්පරාව ලෙඩ වී තිබෙනවා. සෑම අතින්ම ලෙඩ වූ රටක්, ලෙඩ වූ ජාතියක්, ලෙඩ වූ ආර්ථිකයක් තිබෙන්නේ. මේ ලෙඩ සුවපත් කිරීමට දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අත්හදා බැලීම්, කරමින් අපේ රටේ ජනතාව ප්‍රයත්න දරා තිබෙනවා. අවුරුදු 76ක් මේ රට පත්වෙලා තිබුණු ලෙඩට බෙහෙත් හැටියට තෝරා ගෙන තිබෙන්නේ කෙහෙලියගේ බෙහෙත්. සුව වෙනවා වෙනුවට ලෙඩේ වර්ධනය වෙන බෙහෙත්. ඇසේ යම් පෙනීමේ දෝෂයක් තිබෙනවා නම්, ඒකට බෙහෙතක් ඇතුල් කළාට පසුව ඔහු පූර්ණ අන්ධභාවයට පත්වෙනවා. කෙහෙලියගේ බෙහෙත්. මේ රට ගොඩගැනීම සඳහා නව ඖෂධයක් අපේ රටට අවශ්‍යයි. ඔබ දන්නවා එකම බෙහෙත දීර්ඝ කාලයක් ලබාදීමෙන් ලෙඩේ සුව වෙන්නේ  නැහැ. එය ලෙඩේ බෙහෙතට පත්තියන් වෙනවා. අපේ රටේ ලෙඩේටත් බෙහෙත් පත්තියන් වෙලා තිබෙන්නේ. ඒ නිසා අලුත් දිසාවකට රට පරිවර්තනය කළ යුතුමයි. අපි ඔබට ආරාධනා කරන්න ආවේ මේ මාවත වෙනස් කරමු කියන යෝජනාව කරන්න.

අපිට හොඳ ඖෂධ තිබුණාට නරක ඖෂධ තෝරා ගැනීමට සිදුවුණේ ඇයි? ඒක තමයි ඒ මොහොතේ තත්වය. අපට කැමැත්ත තිබුණත්, කොයිතරම් වුවමනාව තිබුණත් එවැනි ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය සමාජ වටපිටාවක් නිර්මාණය වී තිබුණේ නැහැ. අපේ කැමැත්තට මෙවැනි පෙරළි සිදුවන්නේ නැහැ. සමාජ පෙරළියක් සඳහා උඩින් අර්බුදයයි, යටින් අර්බුදයයි දෙකම මෝරන්න ඕනෑ. උඩින් අර්බුදය කියන්නේ පාලක පංතියට තවදුරටත් සුපුරුදු ආකාරයෙන් තමන්ගේ පාලන බලය පවත්වාගෙන යාමට නොහැකිවීම. මැතිවරණ ඉතිහාසයටම අද වෙනකොට, එක්සත් ජාතික පක්ෂය ඡන්ද පත්‍රිකාවෙත් නැහැ, එක්සත් ජාතික පක්ෂ නායකයාට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න සිදුවෙලා තිබෙනවා. යටින් මතුවෙන අර්බුදය නම්, ජනතාවට සුපුරුදු ආකාරයෙන් තමන්ගේ ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වීමයි. ඔවුන්ට සුපුරුදු ආකාරයෙන් ආහාර ටික, බෙහෙත් ටික සපයාගන්න, දරුවාට අධ්‍යාපනයක් ලබා දෙන්න නොහැකි වී තිබෙනවා. ඒ කියන්නේ සමාජ පෙරළියකට, යුග පරිවර්තනයකට අවශ්‍ය වටපිටාව නිර්මාණය වෙලා තිබෙනවා. 

ඒ වටපිටාව ඉතා හොඳින් කළමනාකරණය කරලා, අපි අතට බලය ගන්න පුළුවන්ද, බැරිද කියන ප්‍රශ්නය මතුවෙලා තිබෙනවා. මේ ලෙඩ වුණු ජාතිය, මේ ලෙඩ වුණු රට අපි මුදා ගන්න ඕනෑ. ඒ සඳහා අපි කළ යුත්තේ මොකක්ද? මේ තරම් දුක්ඛදායක තත්වයකට හෙළුවේ, අපේ ආර්ථිකය ලෙඩ ඇඳට තල්ලු කළේ, අපේ රාජ්‍යය අපරාධ, මත්ද්‍රව්‍යවලින් ගහන වූ රාජ්‍යයක් වූයේ, නීතියේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක් වුණේ, ආර්ථිකය කඩා වැටුණේ, වෛරසයක් ඇතුළු වීම නිසයි. අපේ දේශපාලනය මත පැතිරුණු දේශපාලන විනාශකාරී වෛරසයක් තිබෙනවා. වංචාව, දූෂණය, නාස්තිය, අපරාධ, නීතියට වඩා උඩින් ඉන්න එක වැනි කරුණුවලින් පිරුණු දේශපාලන වෛරසයක් තිබෙනවා. මේ දේශපාලන වෛරසයට නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් ලබාදෙන්න ඕනෑ. ඒ වගේම ආර්ථික ක්ෂේත්‍රයේ පැතිරුණු වෛරසයක් තිබෙනවා. ණය ගැනීම, විකිණීම, දැක්මක් සහිතව ආර්ථිකය මෙහෙයවීමට අසමත් වීම මේවායේ ප්‍රතිඵල විසින් ආර්ථිකය ලෙඩ වෙලා තිබෙනවා. මේ දෙකටම නිට්ටාවටම සුව කළ හැකි බෙහෙතක් අපි ලබාදිය යුතුයි.  

තමන් අතට ලැබෙන බලය, ධනය එක්රැස් කිරීමේ එකම පරමාර්ථයක් බවට පත්කර ගත් සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර දේශපාලන ක්ෂේත්‍රය නිට්ටාවටම සුව කරන බවට අපි ඔබට සහතික වෙනවා. නීතිය ඉදිරියේ හැමෝම සමාන නම් පුරවැසියෙක් ඝාතනය කරලා එල්ලුම් ගසට නියම වූ කෙනෙක් පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුරයක් දරන්න බැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරය දරන්න බැහැ. අපේ රටේ ධනය, බලය තිබෙන කෙනාට එක නීතියකුත් දුප්පත්, දුබල කෙනාට තවත් නීතියකුත් ක්‍රියාත්මක වෙනවා. ජාතික ජන බලවේගයේ අපි නීතිය ඉදිරියේ උඩින් ඉන්න අය නොවෙයි, අපි නීතිය ඉදිරියේ හැමෝම සමානයි. ඒ වගේම අප ඉදිරියේ තිබෙන්නේ, බෙදුණු රටක්, ගැටුම් ඇති වුණු රටක්. ඒ වෙනුවට, ලංකාව තුළ ජාතික සමගියේ රාජ්‍යයක් නිර්මාණය කළ යුතුයි. එය දේශපාලන කාර්යයක්. ජාතික ජන බලවේගය ඒ කාර්යය කරනවා. දේශපාලන බලය හසුරුවන කේන්ද්‍රස්ථානයක් තමයි පාර්ලිමේන්තුව. නීති සහ සම්ප්‍රදායන් තම අරමුණු වෙනුවෙන් යොදා ගන්නා කථානායකවරයෙක්. අසැබි වචන කියමින් විනෝද වෙන, ළමා මනසක් සහිත පාර්ලිමේන්තුවක්. අපි මේ මඩ ගොහොරුව පිරිසිදු කරනවා. පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන, ආචාරධර්ම පද්ධතියකට යටත් වෙන ලෙස නීති සම්පාදනය කරනවා. අපේ ආර්ථිකයේ අපට පේන්නේ රෝගයේ ලක්ෂණ. රෝහලේ බෙහෙත් නැහැ, අවශ්‍ය කාර්ය මණ්ඩලය නැහැ. වෘත්තියවේදීන් රට අත්හැර යනවා මේ අපට ලෙඩේ පේන විදිහ. රෝග නිධානය තමයි ලෝකයේ ඇතිවන නව තත්වයන්ට අනුරූප වන පරිදි අවශ්‍ය වෙන ආර්ථික වෙනස්කම් අපි කරන්න අසමත් වුණු ජාතිකයක්. 

රෝග නිධානයේ තිබෙන්නේ ලෝකයේ ඇති වූ නව වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අපේ ආර්ථිකය පෙළගැස්වීමට අසමත් වීමයි. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදි ලෝකයේ ඇතිවන නව පරිවර්තනයන් හොඳින් උකහාගෙන, දියුණු භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකින් ලෝකයේ වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගැනීම සඳහා සැලසුමක් හදා තිබෙනවා. අපට ක්ෂේත්‍ර ගණනාවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය විශේෂම දේ තමයි පර්යේෂණ සහ සංවර්ධන අංශය දියුණු කිරීම. ලෝකය ඉස්සරහට පාලනය කරන්නේ තාක්ෂණයේ විශාලතම හිමිකාරයායි. ලෝකය එක කාලයක් පාලනය කළා, වැඩිම නාවික බලය තිබෙන කෙනා. යුද බලය තිබෙන කෙනා. තව කාලයක් පාලනය කළා වැඩිම මූල්‍ය බලය තිබෙන කෙනා. අද ලෝකය පාලනය කරන්නේ වැඩිම තාක්ෂණය හිමිකරුවා. 

මෙහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? පුරවැසියාට හොඳ ජීවිතයක් ලබාදීමයි. සෑම පුරවැසියාටම දැනුමක් සහිත අධ්‍යාපනය, නිරෝගී සම්පන්න ජීවිතයක් සහිත සෞඛ්‍යය, මානසික නිදහස, කලාව හා සාහිත්‍යය, ඔරොත්තු දිය හැකි ශක්තියක් හැදෙන ක්‍රීඩාවෙන් යුත් අපි නව මිනිස් පරම්පරාවක් හදන්න ඕනෑ. ඒ වගේම ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට, තමන් කරන වෘත්තියට නිසි වටිනාකම ලබාදෙමින්, වෘත්තිකයාට අලුත් ජීවිතයක් ලබාදෙමින් භුක්ති විඳින්න ඉඩකඩ ලබාදෙනවා. අපේ රටේ විශාල පිරිසක් මානසික ආතතියෙන් පෙළෙනවා. රටක් ඉදිරියට ගෙනයාම සඳහා වෘත්තියවේදීන් අවශ්‍යයි. ඒ අයගේ අධ්‍යාපන තලය තවදුරටත් ඉස්සරහට ගේන්න ඕනෑ. ලෝකයේ අධ්‍යාපනයේ ඉහළම තලයක තිබූ ප්‍රාථමික උපාධිය, අද  සාමාන්‍ය අධ්‍යාපන මට්ටම බවට පත්වෙලා තිබෙනවා. අද අධ්‍යාපනයේ ඉහළම තලයක තිබෙන්නේ පශ්චාත් උපාධියයි. අලුත් පර්යේෂණ සිදුවෙන්නේ පශ්චාත් උපාධිය තුළයි. ප්‍රාථමික උපාධිය කියන්නේ මූලික මූලධර්ම. ඒ මූලධර්ම භාවිතාවට නගනකොට අලුත් දිශානතියකට යොමු කරන්නේ පශ්චාත් උපාධි මට්ටමෙන්. අපේ රටේ අධ්‍යාපන තලය ප්‍රාථමික උපාධියේ සිට පශ්චාත් උපාධිය දක්වා වර්ධනය කරන්න ඕනෑ. හෙද සේවයට ප්‍රාථමික උපාධියවත් නැති තත්වය තුළ අපි එතනින් ඔබ්බට උසස් අධ්‍යාපනයට යොමු කරන නව හෙද සේවාවක් ආරම්භ කරනවා. ලෝකය ඉස්සරහට ගමන් කරමින් තිබෙන්නේ නව සොයා ගැනීම් මතයි. ඒවා සියල්ල සිදුවෙන්නේ පශ්චාත් උපාධි ආයතනයන් තුළයි. එහෙම නැතිව ප්‍රාථමික උපාධිය තුළ අලුත් දේ සිදුවෙන්නේ නැහැ. අපේ රටේ පූර්ණකාලීන පශ්චාත් උපාධි අධ්‍යාපන ආයතනයක් නැහැ. ජාතික ජන බලවේගයේ අපි මේ අධ්‍යාපන තලය තව ඉහළ මට්ටමකට ගෙන යන්න නම් පූර්ණකාලීන පශ්චාත් උපාධි ආයතන පිහිටුවිය යුතු යැයි අපේක්ෂා කරනවා. අපි ඒ සඳහා අවධානය යොමුකොට තිබෙනවා. 

ඒ වගේම අපේ ආර්ථිකය ගොඩනැගීමේදී අපි විශාල වාණිජ සම්පත් අපට නැහැ. නමුත් අපට පුනර්ජනනීය බලශක්තියේ විශාල විභවයක් තිබෙනවා. සංඛ්‍යා දත්තවලින් පෙන්වනවා 2030 වෙනවිට ලෝකයේ තෙල් සඳහා තිබෙන ඉල්ලුම උපරිමයට යනවා. 2030න් පස්සේ ඒ ඉල්ලුම අඩුවෙන්න පටන් ගන්නවා. 2050 වෙන විට ලෝකයේ බලශක්ති සැපයුමෙන් 65%ක් 85%ක් සපයන්නේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයයි. එතන අපට විභවතාවයක් තිබෙනවා. අපේ රටේ පිහිටීම, සම්පත් පිළිබඳව සැලකිලිමත් ආර්ථික සැලැස්මක් තිබිය යුතුයි. ඒ වගේම අපිට විශාල ජන ඝනත්වයක් තිබෙනවා. වර්ග කිලෝමීරටයක් තුළ ආසන්න වශයෙන් 343ක් ඉන්නවා. අපේ මානව සම්පත රටේ සම්පතක් බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. ලෝකයේ වෙළඳපොළවල් දෙකක් තිබෙනවා. එකක් භාණ්ඩ වෙළඳපොළ. දෙක ශ්‍රම වෙළඳපොළ. අපි ලෝකයේ ශ්‍රම වෙළඳපොළෙන් අත්පත් කරගෙන තිබෙන්නේ අතිශය ප්‍රාථමික ශ්‍රම වෙළඳපොළක්. 2017දී 303,000ක් විදේශ රැකියා සඳහා ගොස් තිබෙන නමුත් වෘත්තීමය රැකියාවන් සඳහා ගොස් තිබෙන්නේ 6000ක් පමණයි. අපි ලෝකයේ ඉස්සරහට යන්න නම්, දියුණු ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගන්න ඕනෑ. එතනදි හෙද ක්ෂේත්‍රය ලෝකයේ දියුණුම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කර ගත හැකි ක්ෂේත්‍රයක්. ඒක අපේ ආර්ථික වර්ධනයේ මාවතක් හැටියට තීරණය කර තිබෙනවා. 

වෘත්තියවේදීන්ගේ වරප්‍රසාද, රැකියාවල සුරක්ෂිතභාවය ගැන කල්පනා කරන්න ඕනෑ. අද ලෝකයේ හෙදියන් හා හෙදවරු 10,000කට 37ක් ඉන්නවා. ලංකාවේ ඉන්නේ 10,000කට 17යි. තව අපි ඉදිරියට යා යුතුව තිබෙනවා. දැනට 32,000ක් විතර වැඩ කරනවා. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු සියල්ල පුරවන්නත් නව කාඩර් එකක් නිර්මාණය කරන්නත් කටයුතු කරනවා. අලුත් තත්වයන්ට ගැලපෙන පරිදි කාඩර් එකේ ගැලපීමක් කරන්න ඕනෑ. ඕනෑම වෘත්තියක නියැලෙන කෙනෙකුට වෘත්තියේ තෘප්තිමත්භාවයක් තිබෙන්න ඕනෑ. එකක් නීතිමය ලෙසත්, අනෙක වැඩ කිරීම ලෙසත් වෙන්න ඕනෑ. නීතිමය තෘප්තිමත්භාවය ලැබෙන්නේ සේවා ව්‍යවස්ථාවෙන්. අපි ඔබත්  සමග සාකච්ඡා කර,  සේවා ව්‍යවස්ථාවේ ඇති ගැටලු නිරාකරණය කරනවා. ලැබෙන වැටුප තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් විය යුතුයි. 2021 වැටුප සමග සංසන්දනය කරන විට අද වැටුප 30%කින් අඩුවෙලා තිබෙනවා. වැඩිවෙන ජීවන අංකයට අනුව වැටුප් ගැලැප්පීමක් කළ යුතුයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේදි අපි ඒක ඉටු කරනවා. වෛද්‍ය සේවය හෝ හෙද සේවය තිබූ පමණින් සෞඛ්‍ය ක්ෂේත්‍රය සාර්ථක වෙන්නේ නැහැ. අනෙක් සෑම ක්ෂේත්‍රයකටම වඩා සෞඛ්‍යය ක්ෂේත්‍රය සාමූහිකත්වය ඉල්ලා සිටිනවා. සෑම ක්ෂේත්‍රයකම නියැළී සිටින වෘත්තිකයන්ට පැවරී තිබෙන්නේ ජනතාව සුවපත් කිරීමේ කටයුත්තයි. අපේ රට සුවපත් ජාතියක් බවට පත් කිරීම සඳහා සාමූහිකව එක්ව වැඩ කරමු. 

ඉතිහාසයේ රටට වැරදුණු තැන් තිබෙනවා. ඒ වැරදුණු තැන් හොඳින් අධ්‍යයනය කරලා, වෙනස් කළ යුතු තැන් ඉතා වේගයෙන් වෙනස් කරලා මේ රට නව පරිවර්තනයකට යොමු කරමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකට එකතුවෙමු.”

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading

කලා

හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (ඡායා)

Published

on

By

ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපදවීමට යන බව වාර්තා වේ.

ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්ය.

මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතය.

මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.

එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.

එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.

ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙන අතර  Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.

පෙර චිත්‍රපට පරිදීම Waer Bros.Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘති‍යේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved