Connect with us

ඡායාරූප සටහන

දේශීය කථානාද සිනමාවේ 78 සැමරුම

Published

on

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවයක්, ඊයේ ( 21) පස්වරුවේ තරංගනී සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා  ප්‍රධාන ආරාධිතයා වශයෙන් මීට එක්විය.

ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් සපිරීම මෙන්ම ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් සම්පූර්ණ වීමද මෙහිදී සැමරීම සිදුවිය.

මෙම සුවිශේෂී අවස්ථාවට විෂය භාර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, වසන්ති චතුරාණි, ප්‍රියංකර පෙරේරා ඇතුළු මෙරට කලාවේ ප්‍රවීණ කලාකරුවන් සහ නවක කලා ශිල්පීන් රැසක් ද සහභාගීව සිටියහ.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමාව පිළිබඳ වූ හරවත් දේශනයක් පවත්වනු ලැබූ අතර  ‘සංස්කෘතික මිනිසෙකු නිර්මාණය කිරීමෙහිලා, අධ්‍යයතන සිනමාවේ කාර්ය භාරය’ යන්න එහි මාතෘකාව විය.

මෙම සුවිශේෂී සංවත්සර සැමරුමේදී මෙරට කලාව පෝෂණය කිරීමෙහිලා සිය අනුපමේය දායකත්වය ලබාදුන් ප්‍රවීණ සිනමා කලාකරුවන් තිදෙනෙකු ඇගයීම ද සිදු වූ අතර එම සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රවීණ රංගන ශිල්පි ආචාර්‍ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ ගායන ශිල්පි සහ රංගන ශිල්පි ප්‍රියංකර පෙරේරා සහ ප්‍රවීණ සිනමා නිළි වසන්ති චතුරාණි යන මහත්ම මහත්මීන් ය.

එමෙන්ම සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනෙකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද මෙහිදී සිදුවිය.

සංවත්සර උත්සවයේ තවත් විශේෂ අංගයක් ලෙස චිත්‍රපට සඟරාව විශේෂ කලාපය එළිදැක්වීම (2025 පළමු කලාපය) මෙන්ම සංස්ථා ප්‍රකාශනයක් ලෙස සිනමා ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදුවිය. ‘වාර්තා චිත්‍රපට වංශය’ නම් එම ග්‍රන්ථය රචනා කරන ලද්දේ කතුවර නාමල් ප්‍රසන්න මහතා විසිනි.

සංවත්සර උත්සවය පැවැත්වීමට පෙර දිනයන් තුළ, විශිෂ්ට සිනමා කෘතීන් කිහිපයක් නොමිලයේ නැරඹීමට ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් මෙරට සිනමා ප්‍රේක්ෂකයින් හට අවස්ථාව සලසාදී තිබිණි.

සභාව ආමන්ත්‍රණය කළ ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතා විසින් චිත්‍රපට සංස්ථාව මඟින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත කටයුතු රැසක් පිළිබඳව ද දැනුම් දී සිටියේය.

ජාතික සිනමා අරමුදලක් පිහිටුවීම, කොළඹ අන්තර්ජාතික සිනමා උළෙල, ජාතික සිනමා පාසලක් ආරම්භ කිරීම, චිත්‍රපට ශාලා නොමැති ප්‍රදේශවල ආසන 50කින් යුක්ත සිනමා ශාලා නිර්මාණය කිරීම, බස් රථයක් සිනමා ශාලාවක් ලෙස සංවර්ධනය කරමින් ‘ජංගම සිනමා ශාලා’ අත්දැකීම ලබාදීම, පාසල් සිනමා පර්ෂද පිහිටුවීම යනාදිය ඒ අතරට අයත්ය.

සභාපතිවරයා සඳහන් කර සිටියේ තිරගත වීමට නියමිතව ඇති ‘චිත්‍රපට පෝළිම්’ සඳහා ද නිසි විසඳුම් කාලයත් සමඟ ලබාදෙන බවයි.

සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සභාව අමතමින් අවධාරණය කර සිටියේ, ඉතිහාසයේ ප්‍රථම වරට ජනතාවගෙ වුවමනාවත් පාලකයන්ගේ අපේක්ෂාවත් සමපාතව ඇති කාල වකවානුවක, හීන හැබෑ කරගැනීම කළ නොහැකි කාර්‍යයක් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”අපේ ජීවිතවල නොවිසඳුණු ගැටළු ටික අපි ඉතා ඉක්මනින් විසඳගන්න,ලංකාව නිසි මඟකට ගන්න තමයි අපේ මැදිහත්වීම සිද්ද වුණේ. මේක කරගන්න බැරි වැඩක් නෙවෙයි.චිත්‍රපට විෂය සම්බන්ධව නොවිසඳුණු ගැටළු රැසක් පාර්ලිමේන්තුවේදී එවකට මන්ත්‍රීවරයෙක් වුණු අනුර දිසානායක සහෝදරයා කතා කරපු හැටි මේ හැන්සාඩ් වාර්තාවේ තියෙනවා.

ඔහු ඇසූ ප්‍රශ්නවලට එවක ජනමාධ්‍ය අමාත්‍යවරයා වුණු කෙහෙළිය රඹුක්වැල්ල දීපු උත්තරත් මේකෙ තියෙනවා.
මේක බෝර්ඩ් අල්ලලා කෑගහලා කියන්න දෙයක් නෙවෙයි. අපි ආවේ ඒකට තමයි.

අප අමාත්‍යවරුන් හැටියට කටයුතු කරන සියලුදෙනාගෙ අමාත්‍යංශවල තියෙන්නෙ සමහරවෙලාවට ඒ ඇමතිවරුන්ට වඩා දෙගුණයක් තුන් ගුණයක් වඩා වයස පනත් කෙටුම්පත්. ඒවත් එක්ක කිසිවක් කරන්න බෑ. ඒ නිසා මේවා නැවත සලකා බලන්න කාලෙ හරි. දේශපාලකයෙක් හැටියට පොරොන්දු පුනරුච්ඡාරණය කරමින් කතා කරන එක මටවත් මගෙ දේශපාලන ව්‍යාපාරයටත් පුරුදු නෑ.

දැන් ලංකාවේ පළවෙනි වතාවට ඔබේ වුවමනාව, අපේ වුවමනාව බවට පත්වෙලා තියෙනවා.අප අතරෙ අපේ අවශ්‍යතාවල පරතරයක් නැති නිසා මේ හීනය ඇත්තටම හැබෑ කරගන්න පුළුවන්….”

Continue Reading

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved