Connect with us

ඡායාරූප සටහන

නවීකරණය කළ මාතර ඇමෙරිකානු පියස විවෘත කෙරේ

Published

on

2018 ආරම්භ කල “මාතර ඇමෙරිකානු පියස”පසුගිය අගෝස්තු 14 වන දින, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මිය නවීකරණය කරන ලද මාතර ඇමෙරිකානු පියස විවෘත කළාය.

එම නවීකරණවලින් පසු  පුළුල් කරන ලද මාතර ඇමෙරිකානු පියස, ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ව්‍යවසායකත්වය, නායකත්වය, ඉංග්‍රීසි
භාෂාව, STEM සහ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර ඉගෙන ගැනීමට නොමිලේ නවමු වැඩසටහන් පැවැත්වීම සඳහා එම පියසට මුලින් වූ ධාරිතාව දෙගුණ කර ඇත.

මාතර පිහිටි ඇමෙරිකානු පියස ලොව පුරා සෑම භූගෝලීය කලාපයකම රටවල් 140කට වැඩි ගණනක සංස්කෘතික හා තොරතුරු මධ්‍යස්ථාන 600කට අධික සංඛ්‍යාවකින් සමන්විත එක්සත් ජනපදයේ ගෝලීය ඇමෙරිකානු අවකාශ ජාලයේ කොටසකි.

මෙම අවස්ථාවට සහභාගි වූ චංග් තානාපතිතුමිය මෙසේ සඳහන් කළාය:

“මාතර ඇමෙරිකානු පියස දිගු කලක් තිස්සේ දකුණේ ජවසම්පන්න ප්‍රජාව තුළ ඉගෙනීම, නවෝත්පාදන සහ සංස්කෘතික හුවමාරුව සඳහා කේන්ද්‍රස්ථානයක් වී තිබෙනවා. අලුතින් පුළුල් වූ මෙම අවකාශය සමඟ, වැඩිවන ඉල්ලුම සපුරාලීමට මාතර සහ පුළුල් දකුණු ප්‍රදේශයේ ජනතාව සඳහා ආර්ථික අවස්ථා, අධ්‍යාපනය සහ සමාජ ඇතුළත් කිරීම සඳහා අපට සහාය වන තවත් සම්පත් සැපයීමට හැකිවීම පිළිබඳව අප සතුටු වනවා.”

එ.ජ. තානාපති කාර්යාලයේ ඇමෙරිකානු අවකාශ සහ ජාල පිළිබඳව:

මාතර ඇමෙරිකානු පියස කොළඹ එ.ජ. තානාපති කාර්යාලයේ ඇමෙරිකානු අවකාශ ජාලයේ කොටසකි.

කොළඹ, යාපනය, මහනුවර, මාතර, සහ මඩකලපුවේ පිහිටා ඇති මෙම පියැසි, වැඩසටහන් සහ දේශන හරහා මෙන්ම පොත්පත්, චිත්‍රපට, සහ සඟරා හරහා එක්සත් ජනපදය පිළිබඳව ඉගෙනීමට එහි පැමිණෙන අමුත්තන්ට අවස්ථාව සලසා දෙයි.

මෙම ඇමරිකානු අවකාශ සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයින්ට පොදු සහ ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන ගැටළු සම්බන්ධයෙන් එකට එක්වීම සඳහා, දැනුම බෙදාගැනීමේ සහ සහයෝගීතාවයේ වේදිකාවකි.

පුළුල් සම්පත් වෙත ප්‍රවේශය සහ ප්‍රජා ක්‍රියාකාරකම් තුළින් අධ්‍යාපනික වර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මෙම අවකාශයන් කැපවී ඇත.

ඉංග්‍රීසි භාෂා වැඩමුළු, ව්‍යවසායක උපදේශනය, එ.ජ. උසස් අධ්‍යාපනය පිළිබඳ සැසි, එක්සත් ජනපද ප්‍රතිපත්ති, සමාජය සහ සංස්කෘතිය පිළිබඳ සාකච්ඡා, චිත්‍රපට තිරගත කිරීම්, සහ කතාන්දර සැසි යනාදී වශයෙන් සෑම අයෙකුටම අදාළ වන අන්දමේ කුමන හෝ වැඩසටහනක් එහි තිබේ.

2023 දී, ගෝලීය ඇමරිකානු අවකාශ ජාලය, එනම් ඇමරිකානු මධ්‍යස්ථාන, ඇමරිකානු පියැසි සහ ද්විජාතික මධ්‍යස්ථාන හරහා සිදුකළ මිලියන 1.5 කට ආසන්න නියැලීමේ වැඩසටහන් සහ අවස්ථා ඔස්සේ ලොව පුරා මිලියන 41 කට අධික ජනතාවක් වෙත ළඟා වී තිබේ.

ඡායාරූප සටහන

“වෘත්තීය අධ්‍යාපනය මේ රටේ තීරණාත්මක විෂය බවට ඉදිරියේදී පත් කරනවා”

Published

on

By

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් දිවයින පුරා වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් අද (04) ආරම්භ කළ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගම්පහ කාර්මික විද්‍යාලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රකරගෙන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා,

ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි. වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ. වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්න නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය.

අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන තියෙන්නේ අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යන්න බැරි උනොත් යන්න පුළුවන් තැනක් කියන මතය. එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක් එක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් තීරණයක්.

වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ.

ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඒක විෂයක් මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්.

පාසල් අධ්‍යාපනය තුළින්ම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න අපි සැලසුම් කරගෙන ඉන්නේ. ඒ තුළින් රජය බලාපොරොත්තු වන පුනරුද යුගයක අවශ්‍ය මානව සම්පත බිහිකරන්න ඒ මානව සම්පත දියුණු කරන්න අපි කටයුතු කරනවා.

ඒ අනුව මේ රටේ වෘත්තිය ආධ්‍යාපනය ඉහළ තලයක ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Continue Reading

ඡායාරූප සටහන

පැරණි මොන්ගෝලියානු සොල්දාදුවන් තවමත් ඉන්න බොග්ඩාල් (වීඩියෝ/ඡායා)

Published

on

By

චීනයේ ෂින්ජියැං හි විශාලතම කඳුකර විල වන සයිරම් විලෙන් (Sayram Lake) කිලෝමීටර 60 ක් පමණ දුරින් වන බොග්ඩාල් ගම්මානය (Bogdal village) විශ්මයජනක දසුන් සහ පොහොසත් ජෛව විවිධත්වය නිසා මේවන විට ප්‍රසිද්ධයට පත්ව තිබේ.

ෂින්ජියැං උයිගුර් ස්වයාන්තයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන බෝර්තාලා මොන්ගෝලි හි පිහිටා ඇති බොග්ඩාල් ගම්මානයේ මොන්ගෝලියානු, කසැක්, උයිගුර් සහ හන් ජනවාර්ගික කණ්ඩායම් සහජීවනයෙන් වෙසෙන ගමක් ලෙස ප්‍රචලිතය.

එහි යන විදේශිකයන්ව අඩි දහයක් පමණ විශාල ලී ගේට්ටුවක් ඉදිරියේ ගම්වැසියන්ට ආවේනික ඇඳුම් ආයිතම් පැළඳ ගීත ගයමින් සාඨක පලන්දා, සැරවතුර කෝප්පයක් දී පිළිගැනීම ඔවුන්ගේ ආගන්තුක සත්කාරයේ කොටසක් වන අතරම එය විදේශීය ආකර්ශනයට හේතුවී තිබේ.

ඉන් සුළු වේලාවකට පසුව ගම්මානයට ඇතුළු වන සුවිශාල ගේට්ටුව විවෘත වන අතර ගාම්භීර පසුබිම් සංගීතයට, ඓතිහාසික ඇඳුම් ඇඳගත් සොල්දාදුවන් පිරිසක් අශ්වයන් පිට සෙමින් ළඟා වෙමින්, ගමේ උරුමය අවදි කරන දසුන් දුටුවන්ට එහි අතීත විභූතිය විදහා දක්වයි.

චිං රාජවංශයේ (1644-1911) චියැන්ලොං අධිරාජ්‍යයාගේ පාලන සමයේදී, මොන්ගෝලියානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල් දහස් ගණනකට දේශසීමාවේ ආරක්ෂක කටයුතු සඳහා බටහිර දෙසට ෂින්ජියැං වෙත සංක්‍රමණය වන ලෙස නියෝග කර තිබේ.

එම සොල්දාදුවන් හා පවුල්වල අය දුෂ්කරතා විඳදරාගෙන දිගු හා දුෂ්කර ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන බොග්ඩාල් ගම්මානය වෙත පැමිණි බව පැවසේ.

වර්තමානයේ, ඔවුන්ගේ පරම්පරාව බොග්ඩාල්හි ජනගහනයෙන් බහුතරය වේ.

බොග්ඩාල් හි ප්‍රජාව මුලින් දේවගැති ප්‍රජාවක් ලෙස සැලැකෙන අතර වර්තමානයේ බොග්ඩාල්හි පදිංචිකරුවන්, සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී, ඔවුන්ගේ ගමට පැමිණෙන අමුත්තන් ඔවුන්ගේ කැපී පෙනෙන ඉතිහාසය පසක් කරන දර්ශනයක් මතුකරමින් පිළිගනී.

එහි යන විදේශිකයන්ට එහි ඇති ප්‍රධාන ආකර්ෂණයන් අතරට ජනවාර්ගික සංස්කෘතිය අත්විඳීම සහ මොන්ගෝලියානු හෝ කසාක් විලාසිතාවේ දැවයෙන් හෝ මැටියෙන් තැනූ පැල වල සිට රසවත් ආහාර රස විඳීමට අවස්ථාව උදාවේ.

එසේම එහි සංචාරයේ යෙදෙන්නකුට දුනු ශිල්පය පුහුණු වීමට සහ දිවා කාලයේ ගමේ දොරටු විවෘත කිරීමේ උත්සවයක් නැරඹීමට, ගිනි මැල සාදයක් භුක්ති විඳීමට සහ රාත්‍රියේ සංස්කෘතික රංගනයන් භුක්ති විඳීමට හැකි බව පැවසේ.

බොග්ඩාල්හි නව මුහුණුවර 2021 දී ආරම්භ වූ චීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු එකකි.

වර්තමානයේ එහි මලාපවහන පද්ධති, මාර්ග සහ බිත්ති ඇතුළුව යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර, සියල්ල රජයේ අරමුදල්වලින් ප්‍රතිසංස්කරණය කර තිබීම ද විශේෂිතය.

ගම් කමිටුව නිෂ්ක්‍රීය නිවාස නවාතැන් බවට පත් කිරීමට පදිංචිකරුවන් දිරිමත් කරන අතර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලබයි.

ඔවුන් විසින් අමුත්තන් සඳහා පවත්වනු ලබන සාම්ප්‍රදායික මොන්ගෝලියානු විවාහ උත්සවය අමුත්න් අතර ජනප්‍රිය අංගයක් වී තිබේ.

එය නාට්‍යානුසාරයෙන් මොන්ගෝලියානු මනාලයා විසින් මානාලියගේ නිවසින් මනාලිය ගැන විමසීමේ සිට ඇය කැන්දන්යාම මෙන්ම නැවත පැමිණීම ද රඟදක්වයි.

සටහන / ඡායා හා වීඩියෝ – කැළුම් ශිවන්ත

Continue Reading

ඡායාරූප සටහන

කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

Published

on

By

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය.

එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම්  නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසීය.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළේය.

එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved