Connect with us

ඡායාරූප සටහන

පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ඇවිද ගිය ජනපති

Published

on

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල්” (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

ඡායාරූප සටහන

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. මෙම අවස්තාව සදහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උනුසුම් අයුරින් පිළිගත් අතර රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි (ඡායා)

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved