චීන හන් සාම්ප්‍රදායේ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයෙන් බිහිවූ Nine-dragon wall හෝ Nine-dragon screen ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වෙන නව-මකර තිරය නමින් ප්‍රකට නිර්මාණය, එරට දක්නට ලැබෙන සුවිශේෂී නිර්මාණයකි.
චීනයේ ප්‍රධාන භූමියේ මෙවැනි මකර තිර නවයක් දක්නට ලැබේ. ඉන් දෙකක් බෙයිජිං අගනුවර තහනම් නගරයේ සහ බෙයිහායි උද්‍යානයේ පිහිටා ඇත. අනෙක් නිර්මාණ ද්විත්වය ෂැන්ෂි (Shanxi) පළාතේ පිංග්යාඕ සහ ඩාටොං යන නගර වල පිහිටා ඇත. මීට අමතරව, හොංකොං වලද මෙවැනි නිර්මාණ දෙකක්ද, චීනයෙන් පිටතද මෙවැනි තිර කිහිපයක්ද ගොඩනගා ඇත.
ප්‍රධාන වශයෙන් චීන මකරුන් නව දෙනෙකු නිරූපණය කරන මෙම නිර්මාණය, සාමාන්‍යයෙන් චීන රජ මාලිගා ඉදිරිපිට සහ උද්‍යාන වල දක්නට ලැබේ. ඒවා සාමාන්‍යයෙන් ඉදිකර ඇත්තේ තිරයක් ලෙස ඍජු දෘෂ්‍ය පථය අවහිර කර පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට පමණක් නොව, ආශිර්වාද වල සලකුණක්ද ලෙසයි.
චීන ප්‍රධාන භූමියේ දක්නට ලැබෙන පැරණිතම හා විශාලතම නව-මකර තිරය පිහිටා ඇත්තේ ඩාටොං ඓතිහාසික නගරයේ හ’යං වීදියේය. මෙය, බෙයිහායි උද්‍යානයේ දක්නට ලැබෙන නව-මකර තිරය මෙන් තුන් ගුණයක් විශාල වන අතර, එය වසර 250ක් පැරණි ඉතිහාසයකට හිමිකම් කියයි.
මිං රාජවංශයේ පළමු අධිරාජ්‍යයා වූ ජූ යුවැන්ජාං (Zhu Yuanzhang) අධිරාජ්‍යයාගේ 13 වන පුත්‍රයා වන ජූ ගුයි (Zhu Gui) කුමරු වෙනුවෙන් 14 වන සියවසේදී ඉදිකරන ලද මාළිගාව ඉදිරිපිට මෙය ඉදිකර ඇත.
දිගින් මීටර් 45.5ක් හා උසින් මීටර් 08ක් විශාල මෙහි ඝනකම මීටර 2කි. වර්ණ කිහිපයකින් ඔප දැමූ ටයිල් කැබලි 426කින් නිමවා ඇති මෙම නිර්මාණය ප්‍රධාන වශයෙන් කොටස් 03 කින් සමන්විත වේ. ඒ, එහි ඉහළ කොටස, බිත්ති බඳ සහ බිත්ති ආසනය ලෙසයි.
මෙම තිරයේ ප්‍රධාන කොටසේ ගිනි පිටවෙන මුතු ඇට පසුපස හඹා යන, වර්ණ කිහිපයකින් සමන්විත මකරුන් නවයක් පෙන්නුම් කරන අතර, ඔවුන් මෙසේ හඹා යන්නේ අධ්‍යාත්මික ශක්තිය, ප්‍රඥාව, සමෘද්ධිය, බලය, අමරණීයභාවය වැනි දෑ පිළිඹිබු කරන ‘ප්‍රඥාවේ මුතු ඇටය’ පසුපසයි. කැළඹුනු රළ, උස් කඳු සහ වලාකුළු වැනි දෑ පසුබිමේ දිස්වේ. මෙහි තවත් සුවිශේෂී කරුණක් වනුයේ මෙම මකරුන් සියල්ලම නියපොතු සතරක් සහිත මකරුන් වීමයි. ඊට හේතුව වන්නේ චීන කලා සාම්ප්‍රදායේ නියපොතු 5ක් සහිත මකර රුව භාවිතා කෙරුණේ අධිරාජ්‍යයා වෙනුවෙන් පමණක් වීමයි.
බිත්තියේ ආසනය වර්ණවත් ගඩොල් හා ටයිල් වලින් සාදා ඇති අතර, එහිද කුඩා මකර රූප මෙන්ම ගවයන්, අශ්වයන්, බැටළුවන්, බල්ලන්, මුවන් හා සාවුන් වැනි සතුන්ද දිස්වේ.
බිත්තිය ඉදිරිපිට ඇති සෘජුකෝණාස්‍රාකාර ජල තටාකය තනා ඇත්තේ මකරුන්ගේ ඡායාව දිය රැළි අතරින් වඩාත් ජීවමාන ලෙසින් දිස්වීමටයි.
(සටහන හා ඡායා : ශානිකා ජයසේකර)