Connect with us

ඡායාරූප සටහන

මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට ජනපතිත් එක් වේ (ඡායා)

Published

on

මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ  මන්නාරම මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද (15) සහභාගී වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මඩු මංගල්‍යයේ උදෑසන දේව මෙහෙයට එක්වීම ද විශේෂත්වයකි.

ප්‍රධාන දේව මෙහෙයෙන් පසු මඩු මාතා පිළිරුව රැගත් පෙරහර බැතිමතුන්ට වන්දනා මාන සිදු කිරීම සඳහා දේවස්ථාන භූමියේ සංචාරය කෙරිණි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂික මඩු මංගල්‍යයට එක්ව සිටියහ.

මරඳමඩු මාතා පිළිරුවට ඔටුනු පළඳවා 2024 වසරට, වසර සියයක් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් පවත්වනු ලබන දේව මෙහෙයන් වසර පුරාම පැවැත්වීමට දේවස්ථාන පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රශංසනීය බවත් ඊට  වතිකානුවේ හා කතෝලික සභාවේ  ආශීර්වාදය හිමිවන බවත් ප්‍රධාන දේව මෙහෙයට එක් වූ  ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අතිඋතුම් බ්‍රයන් උඩෙයිග්වේ (Rev. Dr.Brian Udaigwe) හිමිපාණන් පැවසූහ.

රටේ සාමය හා සංහිඳියාව පවත්වා ගැනීමට ආගමික නායකයන්ට විශාල වගකීමක් ඇති බව පෙන්වා දුන්  බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන්  රට බෙදා වෙන්කරන ආගමික ඒජන්තවරයෙක් වෙනවාද, නැත්නම් රටම එකතු කරන ආගමික නායකයෙක් වෙනවාද යන්න තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව අනුව බවද අවධාරණය කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අපේ දේශීය සංස්කෘතියේ කොටසක් බව කිව යුතුයි. එම නිසා මෙම උත්සවය ජාතික  උත්සවයක් ලෙස සලකා එය ආරක්ෂා කිරීමත්, අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදීමත් රජයේ වගකීමක්  වෙනවා.

එසේම වාර්ෂික මඩු මංගල්‍ය පැවැත්වීමට කැපවන සියලු පියතුමන්ලාට මම මෙම අවස්ථාවේ දී රජය වෙනුවෙන් මාගේ ස්තූතිය ප්‍රකාශ කරනවා.

මඩු මාතාවට යාච්ඤා සිදු කරමින් තමන්ට සහනයක් ලබා ගැනීමට බොහෝ බැතිමතුන් මෙහි පැමිණෙනවා. පසුගිය වසරේ රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේ විශාල ජනතාවක් මෙහි පැමිණ මඩු මාතාවගේ පිහිට ආරක්ෂාව ඉල්ලා සිටියා. එම දුෂ්කර අවස්ථාවේ මඩු මාතාවගේ ආශිර්වාදය අපට ද ශක්තියක් වූ බව කිව යුතුයි.

මඩු මාතාව වැඩ සිටින මෙම මන්නාරම ප්‍රදේශය පුනර්ජනනීය බලශක්තිය බහුලව ඇති ප්‍රදේශයක්. මෙහි ඇති සූර්ය ශක්තිය, සුළං ශක්තිය සහ හරිත ශක්තිය සමඟ මන්නාරම දිස්ත්‍රික්කය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය හැකියි.

එසේම පූනරීන් බලශක්ති නගරයක් බවට පත් කිරීමටත් අප සැලසුම් කර තිබෙනවා. මෙම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදු කරන්නෙ මේ ශුද්ධ භූමිය හා වනාන්තර ආරක්ෂා වන අන්දමින් බව මම කියන්න කැමතියි. එමෙන්ම මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී මෙහි පියතුමන්ලාගේ අවවාද අනුශාසනා  ලබාගන්නා ලෙස මම නිලධාරීන්ට දැනුම්  දී තිබෙනවා.

ලබන සැප්තැම්බර් 15වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එම නගරාන්තර දුම්රිය සේවාව ආරම්භ කරන්නේ චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමාගේ ඉල්ලීමක් අනුවයි. සෙල්වම් අඩෙක්කලනාදන් මංත්‍රීතුමාගේ ඉල්ලීමකට අනුව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට ද අප පියවර ගෙන තිබෙනවා . ඒ සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙනවා. මෙලෙස මෙම ප්‍රදේශවල සීග්‍ර දියුණුවක් ඇති කිරීමට  සැලසුම් කර තිබෙනවා. මේ සියලු කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමයි. ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය මම බලාපොරොත්තු වෙනවා.

මන්නාරම රදගුරු ආචාර්ය අතිඋතුම් එම්මානුවල් ප්‍රනාන්දු හිමිපාණන් ප්‍රමුඛ රදගුරු හිමිපාණන් වහන්සේලා ද, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංවර්ධන පදනමේ  සභාපති දේවගැති ආචාර්ය චන්දෘ ප්‍රනාන්දු හිමිපාණන් ඇතුළු පියතුමන්ලා ද, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක,  අමාත්‍ය  නලීන් ප්‍රනාන්දු, රාජ්‍ය  අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු, කාදර් මස්තා,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධනෙ, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරු  සහ  බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාවෙන්” පසු නුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක්

Published

on

By

දින දහයක “සිරි දළදා වන්දනාවෙන්” පසු මහ නුවර නගරයේ වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කරන ලදී.

නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ  ඉවත් කර නුවර වැව යළි යථා තත්ත්වයට පත් කිරීම මෙහිදී සිදු කෙරිණි.

නාවික හමුදාවේ කමාන්ඩර් වීරසේකර  සහ  කැප්‍ටන් චරිත ගුණවන්ත යන නිලධාරීන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ ක්ලින් ශ්‍රී ලංකා,  වාරිමාර්ග හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව සිදු කරන ලද මෙම ක්‍රියාන්විතය සඳහා ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහායද නොඅඩුව හිමි වීම විශේෂත්වයකි.

නුවර වැව මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූවකි. එසේම වැවෙහි ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය රැඳී තිබීම හේතුවෙන් ජල මූලාශ්‍රවලට මෙන්ම ජලජ ජීවීන්ටද තර්ජනයක් එල්ල වී තිබිණි.

රට තුළ පාරිසරික, සාමාජයීය සහ ආචාරධාර්මික පිබිදීමක් ඇති කිරීම තුළින් සමාජය වඩා ඉහළ තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්‍රියාත්මක  ක්ලීන් ශ්‍රී 
ලංකා වැඩසටහන යටතේ පරිසරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර කැළිකසළවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමට ජනතාව තුළ ආචාරධාර්මික සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.

ඒ අනුව “සිරි දළදා දැක්මට” සමගාමීව ඉකුත් දින දහය පුරා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මහනුවර නගරය ආශ්‍රිතව සක්‍රීයව ක්‍රියාවට නංවා තිබිණි.

Continue Reading

ඡායාරූප සටහන

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුකම් සොයා බැලීමට ජනපති මහනුවරට (UPDATE)

Published

on

By

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යනමහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 25 පෙ.ව.9.44 )

ජනපති හදිසියේම මහනුවරට යයි

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණි.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කෙරෙනු ඇත.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.

Continue Reading

ඡායාරූප සටහන

ජනපති මෙරට වතිකානු තානාපති කාර්යාලයට

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ (Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබිණි.

අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ  සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved