Connect with us

ඡායාරූප සටහන

“මහජන ධනය සුරැකීමට ජනාධිපතිවරයාට මෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන්ටත්  වගවීමක් තිබෙනවා” (Pics)

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  බලශක්ති අමාත්‍යාංශයේ  අද (15) පෙරවරුවේ පැවැති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට  එක්විය.

අනෙකුත් රටවල බලශක්ති ක්ෂේත්‍රයට ඉහළ ස්ථානයක් ලැබී තිබෙන ආකාරයෙන්ම ශ්‍රී ලංකාව තුළද බලශක්ති ක්ෂේත්‍රයට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇති බව එහි පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලශක්ති අමාත්‍යාංශය යනු මූල්‍ය ඉපයීම් සිදුවන අමාත්‍යාංශයක් බවත් ඉහළ ඉපයීමක් තිබෙන විට අක්‍රමිකතා සිදු විය හැකි බවට සමාජයේ කතිකාවක් තිබෙන බවත් සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව අපේක්ෂා සහගතව සිය මනාපය භාවිතා කර තිබෙන බවත් එම ජනවරමට  වගවීමට තමන් බැදී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

පැරණි දේශපාලන සංස්කෘතියට තිබෙන විරෝධතාව, පුරවැසියා මුහුණ දෙන ආර්ථික ගැටලු හා රාජ්‍ය සේවයේ කාර්යභාරය පිළිබඳ පුරවැසියාගේ අතෘප්තිමත්භාවය ආදී හේතු නිසා පුරවැසියා නව දේශපාලන සම්ප්‍රදායක් කෙරෙහි විශ්වාසය තබා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබා දී ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා  රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමන් රකින අතර, රාජ්‍ය  සේවකයින්ද  තමන්ගේ වගකීම නිසි අයුරින් ඉටු කිරීමට කැපවන ලෙස රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මහජන ධනය සාංඝික දේපළක් හා සමානව සුරැකිය යුතු බවත්  එම ධනය වංචාවට හෝ දූෂණයට ලක් කිරීමට කිසිදු අයෙකුට යුක්ති සහගත අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා  ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක්  නිර්මාණය  කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බවද ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මෙවර ජනවරමේ සංයුතිය , අරමුණ හා අපේක්ෂාවන්  ඉටු කරගැනීම සඳහා රාජ්‍ය සේවකයා වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අදාළ දේශපාලන නායකත්වය තම කණ්ඩායම ලබාදීමට සූදානම් බවත් කියා සිටියේය.

රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, නොකළ යුතු දේ සිදු කළහොත් ඊට අදාළ ක්‍රියා මාර්ග ගැනීමට නොපැකිළෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.

බලශක්ති ක්ෂේත්‍රයේ  දැනට ක්‍රියාත්මක වෙමින් පවතින  සහ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ සවිස්තාරත්මක හා දීර්ඝ සමාලෝචනයක් මෙහිදී සිදු කෙරිණි.

ඉදිරි වසර තුන තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳව මෙන්ම ජනතාවට ලබාදිය හැකි කෙටි සහ දිගුකාලීන සහන පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල, විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය, ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.ජී.ආර්.එ‍ෆ්.කොමෙස්ටර්, ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවේ සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සභාපති ජනක රාජකරුණා යන මහත්වරු  ඇතුළු බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

සිසුසිසුවියන් 100කට චීන තානාපති ශිෂ්‍යත්ව ; 2025ට නිල ඇඳුම් රෙදිත් චීනයෙන් (ඡායා)

Published

on

By

අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට  තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.

මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා විද්‍යාලයේ සිසුන් සිය දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්  නොවැම්බර් 01 දා සිදුකෙරුණු අතර, මේ සඳහා තානාපති කාර්යාලය විසින් රු. මිලියන 2.5ක් ප්‍රදානය කර තිබුණි.

මෙම උත්සවය අමතමින් චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ 2016 වසරේදී ආරම්භ වූ චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහන මේ වන විට ලංකාව පුරා පාසල් 20කට වැඩි ප්‍රමාණයක් තුළ ක්‍රියාත්මක වන බවයි.

2023 හා 2024 යන වසර වලදී ලාංකික සිසුන් සඳහා අවශ්‍ය වූ පාසල් නිල ඇඳුම් රෙදි වලින් පිළිවෙළින් 70%ක් හා 80%ක් චීනය විසින් පරිත්‍යාග කළ බව සඳහන් කළ තානාපතිවරයා, 2025 අධ්‍යයන වර්ෂය සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවද පැවසීය.

රු. බිලියන 5.2ක වටිනා මීටර් මිලියන 12කට ආසන්න මෙම රෙදි තොගය, මේ වසර අවසන් වීමට පෙර අදියර තුනක් යටතේ කොළඹට ගෙන්වීමට නියමිත බවද ඔහු කියා සිටියේය.

මීට අමතරව, චීන මධ්‍යම රජය, පළාත් රජයන් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල සිසුන් දහස් ගණනකගේ ඉගෙනීමට අවශ්‍ය පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය ඇතුළු වෙනත් දෑ පරිත්‍යාග කර ඇති බවත්, ඉදිරි වසර කිහිපය තුළදී මෙරට පුරා පාසල් 500ක ස්මාර්ට් පන්ති කාමර 900 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් තානාපතිවරයා පැවසීය.

මෙම පියවර වලින් ලංකාවේ සිසුසිසුවියන් මිලියනයකට අධික පිරිසකට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයිද චී මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට නව ජනාධිපතිවරයාගේ ප්‍රබල නායකත්වය යටතේ නව යුගයක් කරා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාවට, චීනය යනු සැබෑ මිතුරෙකු පමණක් නොව විශ්වාසනීය හවුල්කරුවෙකු ද වන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවයට තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, ඌව පළාත් අධ්‍යාපන නිලධාරීන් මෙන්ම විද්‍යාලයේ සිසුන්, ආචාර්ය මණ්ඩලය සහ ආදි සිසුන්ද එක්විය.

Continue Reading

ඡායාරූප සටහන

නව වසරේදී චීනය, ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණයෙන් සලකා බලනවා (ඡායා)

Published

on

By

2024 වසරේ චීනයේ චයිනා ඒඩ් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (30) චීන තානාපති කාර්යාලය විසින් පවත්වා තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ වසර කිහිපයක කාලයක් තුළ විවිධ ක්ෂේත්‍ර වල සිටින ලාංකිකයකින් 13,000කට චීනයේ පුහුණු වැඩසටහන් හා සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබී ඇති බවයි.

“නව වසරේදී, චීන රජය විසින් නව ශ්‍රී ලංකා රජයේ සංවර්ධන අවශ්‍යතා සම්පූර්ණයෙන් සලකා බලන අතරම, පුහුණු වැඩසටහන් වල යෝග්‍යතාවය සහ ඵලදායිතාවය වැඩි දියුණු කරමින් චීනයේ සංචාරය කිරීමට සහ අධ්‍යයනය කිරීමට වැඩි පිරිසකට ආරාධනා කර සිටින බව,” තානාපතිවරයා මෙහිදී පැවසීය.

භාණ්ඩාගාර ලේකම් – මහින්ද සිරිවර්ධන මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන අමුත්තා ලෙස එක්වී තිබුණි. 

පුහුණු අවස්ථා ලංකාවට ලබාදීමට අමතරව ආර්ථික අභියෝග හමුවේ ලංකාවට සහය දැක්වීම, මෙරට සංවර්ධනයට ඉවහල් වීම හා ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියට දායක වීම  යන කාරණා සම්බන්ධයෙන්ද සිරිවර්ධන මහතා චීනයට සිය ස්තූතිය පුද කළේය.

 මෙම උත්සවයේදී වුෂු සංදර්ශන හා විනෝදාස්වාද වැඩසටහන් කිහිපයක් ද පැවැත්වුණි.

Continue Reading

ඡායාරූප සටහන

ඉන්දීය රජය පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කරයි

Published

on

By

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ‘සම්භාව්‍ය භාෂාවක් ලෙස පාලි’ යන මැයෙන් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවක් 2024 ඔක්තෝබර් 23 වන දින එම මධ්‍යස්ථානයේදී පැවැත්විණ. 

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාංජල් පාණ්ඩේ මහතා මේ සඳහා සහභාගී වූ අතර බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජන මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම් කිරීම නිමිත්තෙන් මෙම විද්වත් සාකච්ඡාව සංවිධානය කර තිබිණ.

ගංගාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් සමාරම්භක දේශනය සිදු කළ අතර ඉන් අනතුරුව විද්වත් සාකච්ඡාව පැවැත්විණ. මෙම විද්වත් සාකච්ඡාව සදහා බුද්ධ ගයාවේ දකුණු  බිහාරයේ මධ්‍යම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආනන්ද් සිං මහතා (එතුමා වීඩියෝ ඉදිරිපත්කිරීමක් ඔස්සේ සාකච්ඡාවට සම්බන්ධ විය), පාලි සහ බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ බෞද්ධ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍යමිරිස්වත්තේ විමලඥාන හිමිපාණන්, ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍යගෝනදෙණියේ පඤ්ඤාරතන හිමිපාණන්, කැළණි විශ්ව විද්‍යාලයේ
පාලි සහ බෞද්ධ අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්ය පූජ්‍ය දෙණියායේ පඤ්ඤාලෝක හිමිපාණන් සහ කොළඹ විශ්ව විද්‍යාල‌යේ බෞද්ධ
අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආචාර්යපූජ්‍ය එම්. සුගතසිරි හිමිපාණන් සහභාගී වූහ.

විද්වත්හු මෙම සාකච්ඡාව අතරතුරදී විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ලෝකයට දායද කිරීමෙහිලා පාලි භාෂාවේ වැදගත්කම අවධාරණය කළහ. ශ්‍රී ලාංකික විද්වත්හු පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස පිළිගැනීමේ ඉන්දීය රජයේ සුවිශේෂි තීරණය අගය කළ අතර එය බෞද්ධ උරුමය සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීමේ පිළිඹිබුවක් බව සඳහන් කළහ. ඉන්දීය රජය විසින් පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක්
ලෙස නම් කිරීම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සංඝ සහ විද්වත් ප්‍රජාවන් විසින් තවදුරටත් පාලි භාෂාව සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමටඅවස්ථාවන් විවර කරනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ. 

මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මියන්මාරය සහ නේපාලය වන රටවල් වලින් භික්ෂූන් වහන්සේලා සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. 2024 ඔක්තෝබර් 17 වන දින පැවති ජාත්‍යන්තර  අභිධර්ම දින උත්සවයේ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගේ පණිවිඩය ශක්තිමත් කරමින්, මෙම සාකච්ඡා පාලි භාෂාව සම්භාව්‍ය භාෂාවක් ලෙස නම්  කිරීම සාමය, සහානුකම්පාව සහ මනුෂ්‍ය වර්ගයාගේ සුබ සිද්ධිය උදෙසාබුදුන් වහන්සේගේ පණිවිඩය එහිනිර්මලත්වය රැකගනිමින්  පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යාම සඳහා මහෝපකාරී වනු ඇති බව විද්වත් සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved