Connect with us

ඡායාරූප සටහන

රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතිනවා

Published

on

(ඡායා)

අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පත් කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට පත් කළ නව කමිටුව මඟින් දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා, ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ  නාරාහේන්පිට ‘නිල මැදුර’ ගොඩනැගිල්ලේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ  අද (20) දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව අමතමිනි.

ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සිට දිස්ත්‍රික් ලේකම් දක්වා තනතුරු නාම වෙනස් වූ මෙම සේවය වසර 200ක් පමණ පැරැණි බවත්, අපේ රට නව දිශානතියකට යොමු කිරීම සඳහා එමඟින් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එ‌ෙහත් අවසාන අරමුණ හා ඉලක්කය පිළිබඳ වත්මන් තත්ත්වය සෑහීමකට පත් විය නොහැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනයකින් සාධාරණ සේවයක් ලබා ගැනීම පිළිබඳ ජනතාව තුළ කිසිදු විශ්වාසය නොමැති බවත් රාජ්‍යක් ලෙස මුළු පද්ධතියම බිඳ වැටී ඇති බවත්  පැවසීය.

එසේ බිඳ වැටී ඇති පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීමට සූදානම්ද නැද්ද යන්න අප විසින් අපගෙන්ම විමසා බැලිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනවරමේ අපේක්ෂාවන්ට දේශපාලන අධිකාරිය පමණක් නොව රාජ්‍ය සේවයද  වගවිය යුතු මෙන්ම වගකිව යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

තමන්ට ඇත්තේ රාජ්‍ය සේවයේ තිබෙන පුටු පිළිබඳ ප්‍රශ්නය නොවන බවත්  පුටුවක අසුන් ගන්වන්න ඉන්නේ කවුද යන්න පමණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සිදු වන වෙනස්කම් උකහා ගනිමින් ඒවා ගලපා ගනිමින්, තම ක්ෂේත්‍රයට නායකත්වය දෙමින් ජයග්‍රහණය සඳහා මෙහෙය වීමට සමත් වන පුටුවල හිස්කමක් ඇති බව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ නිසා නිලධාරීන් 1500ක් පමණ ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට පසුගිය ඉන්දීය සංචාරයේදී එකඟ වූ බව පැවසීය.

එසේම එළඹෙන වසරේදී උසස් පෙළ සමත් වන සිසුන් සැලකිය යුතු ප්‍රමාණයකට විදේශ අධ්‍යාපනය ලබා දීමට රජයේ ශිෂ්‍යත්ව ලබා දීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

සමහර ආයතන මෙන්ම තනතුරු පවා ගොඩනැඟුණේ කුමන පදනමකින්ද යන්න ගැටලුවක් බවත්, අප රටේ රාජ්‍ය සේවය විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් බවට පරිවර්තනය කර ගැනීමේ අභියෝගය අප ඉදිරියේ පවතින බව පැවසූ ජනාධිපතිවරයා, මේ සඳහා නව ව්‍යුහයක් අවශ්‍ය වනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අප රටේ පවතින රාජ්‍ය ආයතන පිළිබඳ යළි විමර්ශනය කිරීමට නව කමිටුවක් පත් කළ බවද,දේශපාලනිකව සිදුවන බලපෑම පිළිබඳ නොතකා ඒවා පිළිබඳ තීරණ ගැනීමට කටයුතු කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

කිසිසේත්ම රාජ්‍ය සේවය කප්පාදු කිරීමට බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුව තිබෙන බැවින් එක් අධිෂ්ඨානයක සිටිමින් රාජ්‍ය සේවය යම් විධිමත් යාන්ත්‍රණයකට ගෙන ආ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.  

මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන අධිකාරිය ලෙස සිය උපරිම දායකත්වය ලබා දෙන බවත් මෙම කර්තව්‍ය සාර්ථක වන්නේ රාජ්‍ය නිලධාරීන් ඊට දක්වන දායකත්වය මත බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජන වරමේ අපේක්ෂාවන් 80%ක්ම පෙන්වා ඇත්තේ රාජ්‍ය සේවකයන් බැවින් දේශපාලන අධිකාරියේ කාර්යයන්ට සිය කැමැත්ත, අනුමැතිය ලබා දී ඇති බවත් මෙම ද්විත්වය පරස්පර කණ්ඩායම් දෙකක් නොවන සමපාත කණ්ඩායම් දෙකක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය සේවයේ අපේක්ෂාවත් අරමුණත් එකට සමපාත වී තිබෙන බව පසුගිය ජනවරමින් පෙන්නුම් කර ඇති බවත් දෙපාර්ශ්වයම එකඟ වූ කාර්යයක් අප හමුවේ ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේම ජනතාව සම්බන්ධ ව්‍යාපෘතිද යළි සමාලෝචනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනම් කරන බවත්, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය නව වසරේ ජනවාරි 01 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අපේ රට නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම, ඩිජිටල්කරණය, සමාජය ආකල්පමය වශයෙන් පරිවර්තනය කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා යන ක්ෂේත්‍ර තුන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එම කාර්යය ඉටු කිරීම සඳහා වැඩ කිරීමේදී යම් නිලධාරිකු අපහසුතාවකට, අයුක්තියකට, අසාධාරණයකට ලක් වන්නේ නම්, තමා එම පුද්ගලයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව අවධාරණය කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යම් නිලධාරියකු එම කාර්යයන් කඩාකප්පල් කිරීමට, හිතාමතා අතපසු කිරීමට කටයුතු කරන්නේ නම් එයටද ඒ හා සමානව ක්‍රියාත්මක වන බවද පැවසීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච්. අබයරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී. ප්‍රදීප් සපුතන්ත්‍රී, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්ම මහත්මීන්, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading

කලා

හැරී පොටර් රසිකයන්ට අලුත් ආරංචියක් (ඡායා)

Published

on

By

ලොකු කුඩා කා අතරත් එක සේ ජනප්‍රියත්වයට පත් Harry Potter පොත් මාලාවෙන් Harry Potter රූපවාහිනී කතාමාලාව නිපදවීමට යන බව වාර්තා වේ.

ඒ අනුව හැරී පෝටර්, හර්මයිනී ග්‍රේන්ජර් සහ රොන් වීස්ලි යන ප්‍රධාන චරිත ත්‍රිත්වය සඳහා ළමා ශිල්පීන් තෝරාගෙන ඇති බව සඳහන්ය.

මෙසේ තෝරා ගත් ශිල්පීන් ලෙස හැරී පෝටර්ගේ චරිතය වෙනුවෙන් Dominic McLaughlin ද, හර්මයිනී ග්‍රේන්ජර්ගේ චරිතයට Arabella Stanton මෙන්ම රොන් වීස්ලිගේ චරිතයට Alastair Stout ද රංගනයෙන් දායක වීමට නියමිතය.

මෙම තෝරගැනීමට අඳාළ තිර පරීක්ෂණ සඳහා ළමා නළු නිළියන් 32,000 වැඩි පිරිසක් සහභාගී වී තිබේ.

එසේම අල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට John Lithgow, මිනර්වා මැක්ගොනගල්ගේ චරිතයට Janet McTeer, සෙවරුස් ස්නේප් ලෙස Paapa Essiedu ද, රුබියස් හැග්රිඩ්ට Nick Frost ද තෝරා ගෙන ඇත.

එහෙත් වොල්ඩර්මෝට් චරිතය සඳහා කතාමාලාවට රංගනයෙන් දායක වීමට සුදුසු නළුවෙකු මේ වන තෙක් තෝරාගෙන නැති බව වාර්තා වේ.

එසේම J.K. රොව්ලින්ග් ලියූ මෙම පොත් මාලාවේ මුල් පොත් 7ට අනුකූල වන අයුරින්, එක් පොතකට එක් කතාසමයක් ලෙස සැලසුම් කර ඇත.

ඒ අනුව එය වසර 10ක් පුරා දිවයන අයුරින් සැලසුම් වී තිබෙන අතර  Mark Mylod කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා වේ.

පෙර චිත්‍රපට පරිදීම Waer Bros.Studios මඟින් මෙය ද නිශ්පාදනය කරනු ලබන බව සඳහන්ය.

මෙම ව්‍යාපෘති‍යේ විධායක නිෂ්පාදිකාව J.K. Rowling වන අතර 2027 වසරේ දී මෙහි පළමු කතා සමය නිකුත්වීමට නියමිතව  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved