Connect with us

ඡායාරූප සටහන

“සත්තු වත්ත ජනතාවට තහනම් කළේ නැහැ නමුත්, පාර්ලිමේන්තුව තහනම් කළා”

Published

on

රට හදන අපි එකට මාලිමාවට මැයෙන් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ ජනතා රැලියක් අද (23) ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අපේක්‍ෂක, ඉන්දික පරණවිතාන, ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කණ්ඩායම් නායක, නීතිඥ අරුන් හේමචන්ද්‍රන්, ප්‍රවීණ කලාකරු බුද්ධදාස විතානාරච්චි මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා පැවසූයේ හැමෝටම “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් ගොඩනඟන බවය.

සම්පූර්ණ කතාව,

“ලංකාවේ ප්‍රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැර නව පාලනයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දුන්නා. මහා මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුවීම දක්වා ලංකාවේත්, ලෝකයේත් ඉතිහාසගත වන තුන්දෙනකුගේ ආණ්ඩුවක් අප පවත්වාගෙන යනවා. මහා මැතිවරණය අවසන් වන තුරු ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා බිඳනොවැටී, ආර්ථිකය බිඳනොවැටී, රටේ ආරක්‍ෂාව බිඳනොවැටී පවත්වාගෙන යාමේ වගකීම අප තුන්දෙනාට පැවරී තිබෙනවා. නොවැම්බර් 14වැනි දිනට පසුව පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් අතුරින් විසිපස්දෙනකුට අඩු කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ගන්නවා. රාජ්‍ය අමාත්‍ය ධුර නැහැ. අමාත්‍ය ධුරවලට ගැළපෙන නියෝජ්‍ය අමාත්‍ය ධුර තිබෙනවා. එතැන් සිට ක්‍රමානුකූලව රට ගොඩනඟමින්, මේ ගමන යනවා. පැවැති පාර්ලිමේන්තුව සෑම ජනතාවකගේම විරෝධයට, පිළිකුලට භාජනයවී තිබුණා. කොවිඩ් වසංගතයේ දී, ජල ගැල්මකදී වාගේ ස්වාභාවික විපත්වලදී පවා ඒ විරෝධය ජනතාවගෙන් එල්ල වූනා. සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිහි, මිරිස් කුඩු අරගෙන ආවා. සමහරු පොත්වලින් පවා ගහගත්තු හැටි අපි දැක්කා. අපේ රටේ සත්තු වත්ත ජනතාවට තහනම් කළේ නැහැ. නමුත්, පාර්ලිමේන්තුව තහනම් කළා. ඒ පාර්ලිමේන්තුව ජනතාවට උචිත පාර්ලිමේන්තුවක් නොවන බව එයින් ප්‍රකාශවී තිබුණා. ඒ පාර්ලිමේන්තුව සුද්ද කර අලුත් කිරීමට පෙළගැසෙන අතරේ හිටපු හැටදෙදෙනකුම ස්වේච්ඡාවෙන්ම ඉවත් වී ගිහින් තිබෙනවා. මාලිමාවේ අවංක, අදූෂිත වාගේම ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කළ හැකි අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න. ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් හොඳම දායකත්වයක් ලබාදෙන්න.

පසුගිය ජනාධිපතිවරණයේ දී ඒ වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විශාල ශක්තියක් ලබා දී තිබෙනවා. 2019 ජනාධිපතිවරණයේ දී මාලිමාවට තිබුණේ, 5,000කට අඩු ඡන්ද ප්‍රමාණයක්. මේ ජනාධිපතිවරණයේදී 50,000කටත් වැඩියි. එහෙම නම්, මහ මැතිවරණයේදී මොනවා වෙයිද? අනෙකුත් පක්‍ෂ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න කොටම පරාජය පිළිගෙන ඉවරයි. අපේ රටේ තිබෙන ප්‍රධාන අභියෝග කිහිපයක් ජය ගන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් ජයග්‍රහණයක් ජාතික ජන බලවේගයට අවශ්‍යයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර දීර්ඝ කාලයක් සැකය, වෛරය, ක්‍රෝධය, අවිශ්වාසය පතුරුවා තිබුණා. යුද්ධය අවසන් කිරීමෙන් පසුව 2015 සිට නැවත එම සැකය සහ අවිශ්වාසය වර්ධනය කරමින්, ජනතාව බෙදීමට පටන් ගත්තා. ඒ තුළ දෙමළ ජනතාව දෙමළ පක්‍ෂවලටත්, මුස්ලිම් ජනතාව මුස්ලිම් පක්‍ෂවලටත් තල්ලු කරනු ලැබුවා. ඊට පස්සේ ඒ පක්‍ෂවල කරට අත දාගෙන ආණ්ඩු බලය තහවුරු කර ගැනීමේ දේශපාලනයක් ඔවුන් ගෙන ගියා. ත්‍රිකුණාමලය නගරය සහ දිස්ත්‍රික්කය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟියෙන් ජීවත් වන තත්වය වෙනුවට ජනතාව බෙදලා ගැටුම් ඇති කරමින්, ඔවුන්ගේ පාලනය ගෙන ගියා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමඟියේ පක්‍ෂය තමයි, ජාතික ජන බලවේගය. පසුගිය ජනාධිපතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ජනතාව අප ජයග්‍රහණය කරාවි යැයි විශ්වාස කළේ නැහැ. ඒ නිසා මහ මැතිවරණයට පිවිසෙන්නේ අප ජයග්‍රහණය කර තිබෙන පසුබිමක සියලුම ජනතාව සමගියේ එක කුඩයක් යටතට ඇවිත්, සෙවණ ලබා ගැනීමටයි. එය කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම ජනතාව විශ්වාස කරන, සියලුම ජනතාවගේ ආශීර්වාදය තිබෙන ආණ්ඩුව පිහිටුවිය හැක්කේ ජාතික ජන බලවේගයට පමණයි.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසු උතුරේ ජනතාව අතරේ විශාල පිබිදීමක් ජාතික ජන බලවේගය කෙරෙහි ඇතිවී තිබෙනවා; විශ්වාසය ගොඩනැඟී තිබෙනවා. බෙදී, වෙන්ව සිටි යුගය අවසන් කර සමඟිය සහිත ආණ්ඩුවක් පිහිටුවීමට විශේෂ වගකීමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම දෙනාටම සමානව ක්‍රියාත්මක වන නීතියක් සහිත රටක් අප ගොඩනඟනවා. සමහර බාධාකාරී නීති තිබෙනවා නම්, ඒවා වෙනස් කර ජනතාවගේ යහපත වෙනුවෙන් “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා. “මම ශ්‍රී ලාංකිකයෙක්” කියලා අභිමානයෙන් කියන්න පුළුවන් පසුබිමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ගොඩනඟා දෙනවා.

අපි රට ඒ තත්වයට ගෙනයන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩෙයි ඛනිජවැලි නිධිය නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමින්, අගය එකතු කිරීමේ කර්මාන්තයක් බවට පත් කරනවා. ඒ වාගේම අපේ ඇස් ඉදිරිපිට දිරා යන තෙල් ටැංකි ටික ප්‍රතිසංස්කරණය කර ජාතික ආර්ථිකයට ශක්තියක් ලබාදෙන තත්වයට ගොඩනඟනවා. ඒ වගේම මේ තෙල් ටැංකි ආශ්‍රිතව පිරිපහදුවක් ඉදි කිරීමේ හැකියාව ගැනත් සොයාබලමින් සිටිනවා. සාම්ප්‍රදායිකව පවතින ධීවර කර්මාන්තය වඩාත් ඵලදායක කිරීමට මේ වන විටත් ඉන්ධන සහනාධාරය ලබා දී තිබෙනවා. ඒ වාගේම පශු සම්පත් දියුණු කිරීමටත් විශාල හැකියාවක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ පවතිනවා.

ඊට අමතරව අක්කර 23,000ක උක් වගාවක් සමඟ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පැවැතුණා. ඒ යන්ත්‍ර සූත්‍ර දිරා යමින් තිබෙනවා. උක් වගාබිම් අලින්ගේ වාසභූමි බවට පත් කර තිබෙනවා. මේ ඉඩම්වලින් අක්කර 11,000ක් තාවකාලිකව ගොවීන්ට ලබාදෙන්න කටයුතු කළා. උක් වගාව නැවත ආරම්භ කර කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක කරන තුරු ගොවීන් මේ ඉඩම්වල වගා කරනවා.

ඒ වාගේම සහල් මෝල් හිමියන් හමු වූ අවස්ථාවේ දී අපට පැහැදිලි වුණා හිඟයක් නැති බව. අප සහ ඔවුන් අතර අවබෝධයෙන් කටයුතු කරන්න අපි මූලික ප්‍රවේශයක් තැබුවා. නීතිය ක්‍රියාත්මක කරනවාට වඩා අවබෝධය වැදගත්. රටේ හාල් හිඟයක් නැති නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් හැර වෙනත් හාල් ඇටයක්වත් ගේන්න අප අපේක්‍ෂා කරන්නේ නැහැ. රුපියල් 15,000කට පැවැති පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කළේ ඒ වෙනුවෙන්. ලබන වසර පෙබරවාරි මාසයේ දී පමණ අපේ පළමු අය-වැය ලේඛනය ඉදිරිපත් කර ජනතාවට කෙටි කාලීනව සහනාධාර ලබාදෙනවා. ඉන් පසු දීර්ඝ කාලීනව රට ගොඩනැඟීමෙන් පසුව ජනතාව ස්වශක්තියෙන් නැඟීසිටීමේ හැකියාව සහිත පිරිසක් බවට පත් කරනවා. ලෝකයේ විශේෂ තත්වයක් ඇති වුණේ නැත් නම්, 2025 වසර ලංකාවට විදේශ සංචාරකයන් වැඩියෙන්ම පැමිණි වසර බවට පත් කරනවා.

ඒ අතරේ විරුද්ධවාදීන් ආණ්ඩුව මාස තුනකින්, හයකින් වැටෙන බවට දුකට කියන කතා පටන් අරගෙන තිබෙනවා. ඔවුන්ගේ පවුල් පාලනය බිඳවැටී මේ මහ මැතිවරණයේ දී ඡන්දය ඉල්ලන්න බැරි තරමට බංකොළොත් වී තිබෙනවා. ජනතාව දේශපාලකයන් පසුපස ගිය යුගය අවසන් කර නීතිය ඉදිරියේ සමානයන් බවට පත් කරනවා. 2015 යහපාලන ආණ්ඩුව වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් ක්‍රියා කරනවා වෙනුවට සංදර්ශන පමණක් බවට පත්කර ගත්තා. ඒ තත්වය වෙනස් කර හැම පැත්තෙන්ම පිරිපුන් රටක් අපි ගොඩනඟනවා. ඒ වෙනුවෙන් මෙම මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන්න. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් දෙමළ සහෝදරයෙක්, මුස්ලිම් සහෝදරයෙක්, සිංහල සහෝදරයෙක් වශයෙන් සියලු ජනතාව නියෝජනය කරන සහෝදරවරුන් පාර්ලිමේන්තුවට එවන්න. එක කොඩියක් යට සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් අපි ගොඩනඟමු.

ඡායාරූප සටහන

කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

Published

on

By

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය.

එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම්  නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසීය.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළේය.

එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Continue Reading

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

දුටුවන් මුසපත් කරන සේද මාවතේ මහා කඩමණ්ඩිය (ඡායා / වීඩියෝ)

Published

on

By

ෂින්ජියැං ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් බසාර් (Xinjiang International Grand Bazaar) යනු ප්‍රමාණයෙන් ලොව විශාලතම කඩමණ්ඩියයි.

ඉස්ලාමීය සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ජනවාර්ගික වාණිජ්‍යය, සංචාරක ව්‍යාපාරය සහ විනෝදාස්වාදය ඒකාබද්ධ කරන ස්ථානයක් ලෙස මේ කඩමණ්ඩිය ප්‍රකටය.

Urumqi හා ෂින්ජියැං හි වඩාත් ප්‍රසිද්ධ සන්ධිස්ථානවලින් එකක් වන මේ කඩමණ්ඩියේ ඉදිකිරීම් 2002 අගභාගයේදී අවසන් කළ බව පැවසෙන අතර එය මහජනතාව සඳහා විවෘත වී ඇත්තේ 2003 ජුනි 26 වැනිදාය.

Urumqi පුරාණ සේද මාවතේ පිහිටා ඇති නගරයක් වන අතර එහි  වසර දහස් ගණනක් තිස්සේ විශාල කඩමණ්ඩියක් පැවැති බව ලෝක ඉතිහාසය සාක්ෂිදරයි.

එහි ඉදිකිරීම් ප්‍රදේශය වර්ග මීටර් 100,000 කට ආසන්න වන අතර වෙළඳසැල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පැවසේ.

ග්‍රෑන්ඩ් බසාර්හි වාස්තු විද්‍යාත්මක ශෛලිය විශ්මයජනක සහ අතිශයින්ම ඉස්ලාමීය එකකි.

ග්‍රෑන්ඩ් බසාර් වෙත පැමිණීම මධ්‍යම ආසියාවේ වෙළඳපොළක් හරහා ඇවිදීම හා සමාන බැව් සංචාරකයන්ගේ මතය වේ.

ග්‍රෑන්ඩ් බසාර් වෙත ඇතුළු වන්නෙකුට, චතුරශ්‍රයේ මධ්‍යයේ මීටර් 100 ක් පමණ උස වටකුරු කුළුණක්  දැකගත හැකි වේ.

එය ග්‍රෑන්ඩ් බසාර් හි වඩාත් ප්‍රසිද්ධ ආකර්ෂණය වන අතර එය සේද මාවතේ දර්ශන කුළුණ ලෙස නම් කර ඇත.

එම කුළුණේ සෑම මහලකම සේද මාවතේ ඓතිහාසික කතාව සිතුවම් කර තිබේ.

කුළුණ මුදුනේදී, උරුම්කි නගරයේ පරිදර්ශක දසුනක් දැකගැනීම උගහට නොවේ.

චතුරස්‍රයේ දෙපසම උයිගර් විලාසිතාවේ පදික වීදි දැක ගැනීමට හැකිවන අතර රසවත් ෂින්ජියැං පලතුරු වර්ග, විවිධ කජු වර්ග මෙන්ම වියළි පළතුරු වෙළෙන්දන්ගෙන් ද පිරී තිබේ.

සමහර ජනවාර්ගික සංගීත භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ පින්තාරු කරන ලද රබන් ආදිය ද  මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.

මේ කඩමණ්ඩියේ වැඩි ඉල්ලුමක් ඇත්තේ කාපට්, සේද හා අත්කම් වලටය.

ඒ සින්ජියැං කාපට් ඒවායේ කලාත්මක සුන්දරත්වය සහ ශිල්පීය හැකියාව ප්‍රකට කර ඇති නිසාය.

එසේම ලොම් වලින් සාදන ලද ඒවායේ දීප්තිමත් වර්ණ සහ මෝස්තර උයිගර් ජනතාව පිළිබිඹු කරයි.

උයිගර් ජනතාව විසින් පැළඳ සිටින දේශීය රෙදිපිළි අතර “ඇට්ලස් සිල්ක්” එහි දීප්තිමත් වර්ණ සඳහා ප්‍රසිද්ධය.

මෙම සේද රෙදි ඉතා මෘදු වන අතර දේශීය ජනතාව ඔවුන්ගේ ඇඳුම් සඳහා මෙන්ම ඔවුන්ගේ නිවාසයන්හි අභ්‍යන්තර අලංකරණයක් ලෙසද ඒවා භාවිතා කරයි.

උයිගර් ජනවාර්ගික සුළුතර කණ්ඩායමට අද්විතීය සංස්කෘතියක් ඇති අතර ඔවුන්ගේ අත්කම් චීනයේ වෙනත් තැන්වල දක්නට නොලැබෙන වෙනස් ඒවාය.

ඔවුන්ගේ ගෙතූ ඇඳුම්, එම්බ්‍රොයිඩර් සහ ජේඩ් කැටයම් නිර්මාණ මනස්කාන්ත සිත් ගන්නා සුළු ඒවාය.

දේශීය උයිගර්වරු සාප්පු ඉදිරිපිට ඔවුන්ගේ ජන සංගීතය වයන සංගීත කණ්ඩායම් මෙන්ම නර්තනයේ යෙදෙන ලලනාවන්ද එහි සුලබ දසුනකි.

නාන් කෞතුකාගාරය මෙම කඩමණ්ඩියේ තවත් ප්‍රධාන ආකර්ෂණීය තැනකි.

ෂින්ජියැං හි නාන් සඳහා දිගු ඉතිහාසයක් ඇති අතර එය ෂින්ජියැං හි වාර්ගික සුළුතරයන්ගේ ප්‍රධාන ආහාරයයි.

ග්‍රෑරෑන්ඩ් බසාර් හි නාන් කෞතුකාගාරය ෂින්ජියැං  පුරා සිටින ජනයා ආහාරයට ගන්නා නාන් වර්ග 100 කට වඩා ප්‍රදර්ශනය කරයි.

සටහන හා ජායාරූප හා වීඩියෝව –
කැළුම් ශිවන්ත (ෂින්ජියැං – Urumqi සිට)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved