Connect with us

ඡායාරූප සටහන

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න කටයුතු කරන්නෑ – ජනපති (ඡායා)

Published

on

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට  අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශ්වයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම පමණක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ සෑම රටකම විද්‍යුත් මාධ්‍ය පිළිබඳ කටයුතු කිරීමට එවැනි ක්‍රමවේදයක් භාවිතා වන අතර ශ්‍රී ලංකාව තුළ එය ක්‍රියාත්මක කිරීමේ දී එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන එලෙසින්ම ඇතුළත් කිරීමට තමා උපදෙස් දී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මේ බව සඳහන් කළේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අද (15) පස්වරුවේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ආරම්භ කරමිනි.

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩාත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක් හරහා අයදුම් කිරීමට මේ සමඟ අවස්ථාව සැලසේ.

ඩිජිටල්කරණය සෑම රාජ්‍ය අංශයකටම හඳුන්වාදී උපතේ සිට මරණය දක්වා මහජනතාවට අවශ්‍ය සියලුම ලිපි ලේඛන එක් වහලක් යටදී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන බව ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එහිදීවැඩිදුරටත්අදහස්දැක්වූජනාධිපතිරනිල්වික්‍රමසිංහමහතාමෙසේදපැවසීය.

විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්. ඊළග වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්‍රයකම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.

අපි දියුණු රටක් ලෙස ඉදිරියට ගමන් කරනවා නම් ඩිජිටල්කරණය අත්‍යාවශ්‍යයි. එහි ආරම්භය අද මෙම ස්ථානයේ දී සිදුවනවා. ඇතැම් දෙපාර්තමේන්තු තුළ මෙය ක්‍රියාත්මක වෙනවා. ඇතැම් ඒවායෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඇතැම් දෙපාර්තමේන්තු මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමට කැමතියි, කුමන හෝ හේතුවක් නිසා ඇතැම් දෙපාර්තමේන්තු  සහ ආයතන මේ කටයුත්තට අකමැතියි. නමුත් මේ සියලුදෙනා එක මට්ටමකට ගෙන ඒමයි අපේ අපේක්ෂාව වන්නේ. මේ වගකීම මුලින්ම ආරම්භ කළ ටිරාන් අලස් මැතිතුමාට සහ එම අමාත්‍යාංශයට මම ස්තූතිවන්ත වෙනවා.

මාතෘ නිවාසයේ සිට සුසාන භූමිය දක්වා තිබෙන ලියකියවිලි කටයුතු එක අමාත්‍යාංශයකට මම භාරදී තිබෙනවා. ආගමන, විගමන බලපත්‍ර, ජාතික හැදුනුම්පත් ලබාදීම මේ සියල්ල අපේ ජීවිතයට අදාළ කරුණු. ඒ නිසා ටිරාන් අලස් අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශය ඒ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මෙම කටයුත්ත පැවැත්වෙන්නේ හෝමාගම ප්‍රදේශයේ නිසා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහභාගිවෙලා සිටිනවා. මම හිතුවා මාධ්‍යවේදීන් මෙතනට ඇවිත් “අපේ මාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය නැති කරන්න යනවා, උතුරු කොරියාව වගේ තත්ත්වයක් ඇති කරන්න යනවා” කියලා විරෝධය දක්වයි කියලා.

මම දන්නේ නැහැ ඇයි මාධ්‍ය මෙවැනි වැඩපිළිවෙළක් ගෙනියන්නේ කියලා. අපේ දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී අපහාස නීතිය තිබුණා. මම එය ඉවත් කළා. මම හිතන්නේ නැහැ ආසියානු කලාපයේ කිසිදු රටක එය ඉවත් කර තිබෙනවා කියලා.

අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කළා නම් ඇයි දැන් ඒක නැති කරන්න හදන්නේ. කිසිවෙකුට එය ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. මේ සියලුදෙනාට වඩා මට තිබෙනවා මාධ්‍ය සමග සම්බන්ධතාවක්. ඒ නිසා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය නැති කරන්න අපි කාටවත් අවශ්‍ය නැහැ.

නමුත් මෙතැන තිබෙන්නේ වෙනත් ගැටලුවක්. ලෝකයේ සෑම රටකම මාධ්‍ය මගින් යම් අගතියක් සිදු වූ විට ඒ අයට සහනයක් ලබා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවා.

මෙතන රාජ්‍ය සේවකයෝ සිටිනවා. කී දෙනෙකුට විද්‍යුත් මාධ්‍ය මගින් දොස් නගා තිබෙනවද, ඇතැම්විට කරුණු රහිතව කී දෙනෙක් ගැන විද්‍යුත් මාධ්‍යයෙන්  ප්‍රකාශ සිදු කරනවද. දැන් ඒ අයට තිබෙන සහනය මොකක්ද, සාමාන්‍ය අයට පමණක් නෙවෙයි මටත් එම ගැටලුව තිබෙනවා.

දැන් කුරුන්දි  විහාරය ගැන එක එක ප්‍රකාශ සිදු කරනවා. මම එහි දෙමළ ජනතාව පදිංචි කරන්න යනවා කියලත් කියනවා. මම එල්ලාවල මේධානන්ද ස්වාමින් වහන්සේට දැනුම් දුන්නා මේ රජයේ ඉඩම්. ඒවායේ අපි දෙමළ, සිංහල හෝ මුස්ලිම් ජනතාව පදිංචි කරවන්නේ නැහැ කියලා ඔවුන්ට දැනුම් දෙන්න කියලා.

අනිත් පැත්තෙන් කෑ ගහනවා තිරියාය කඩලා එතන ගොඩනැගිල්ලක් හදන්න යනවා කියලා. එලෙස කිසිවක් නැහැ. ඒ ගැන ටිකක් හොයලා බැලුවොත් 2018 පාර්ලිමේන්තු කමිටුවකින් මේ පිළිබඳ තීන්දුවක් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ ඉඩම් පිළිබඳ සොයා බලා  වාර්තා කිරීමට කමිටුවක්  පත් කරන ලෙස මම උපදෙස් දුන්නා.

විශේෂයෙන් මට මේ ගැන සොයා බලන්න බැරි නම් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් එම සහනය ලබා ගන්නේ. එම සහනය ලබාදීමට පමණයි අපි කටයුතු කරන්නේ. තවම මෙම කෙටුම්පත් එකක්වත් අවසන් කර නැහැ. මම උපදෙස් දී තිබෙන්නේ එක්සත් රාජධානියේ විද්‍යුත් මාධ්‍ය සඳහා තිබෙන මාර්ගෝපදේශන මේ සදහා ඇතුළත් කිරීමට.

තමන් ගැන අසත්‍යයක් ප්‍රකාශ කළොත්, එයින් තමන්ගේ චරිතයට හානියක් සිදු වුණොත් කී දෙනෙක්ට නඩු කියන්න පුළුවන්ද, ඉතින් මේ ආයතනය පිහිටුවීමෙන් එම ආයතනයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී මාධ්‍යයට අවාසියක් සිදු නොවීමට අවශ්‍ය මාර්ගෝපදේශන තිබෙනවා. එම මාර්ගෝපදේශන අනුව කටයුතු කළ යුතුයි.

මම නීතිපතිතුමාට දැනුම් දී තිබෙන්නේ මේක එක්සත් රාජධානියේ වචනවලින්ම සඳහන් කරන්න කියලා. මොකද තීරණ ලබාදීමේදී පූර්වාදර්ශයන් එහිදී අපට ලබාගත හැකියි.

ඒ වගේම ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමටවත් බලපත්‍ර ලබාදී නැහැ. ඇතැම් අයට තිබෙන්නේ අධ්‍යාපන බලපත්‍ර. මේ සියල්ල නිවැරදි කිරීම තමයි අපේ අරමුණ. එසේ නැතිව වෙන කිසිවක් නැහැ.

දැනටමත් විකාශන බලපත්‍ර අහෝසි කිරීමට අමාත්‍යවරයාට බලයක් තිබෙනවා.  මේ පනතින් යෝජනා කරන්නේ ඕනෑම කෙනෙකුට අධිකරණය වෙත ගොස් සහනයක් ලබා ගන්න අවස්ථාව සැලසීමයි. අධිකරණයට යන යෝජනාව විරුද්ධ නම් ඇමතිතුමාට ඒ බලය තියා ගන්න කියන්න. අපි උත්සාහ කරන්නේ යම් කිසි ක්‍රමවේදයක් අනුව මෙය ඉදිරියට ගෙන යාමටයි.

ඇතැම් රටවල වසර දහයෙන් දහය බලපත්‍රය අලුත් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි අදායමක් ලබා ගැනීම සඳහායි. අපි මේ හැම බලපත්‍රයක්ම නොමිලේ ලබාදුන්නා. එය ලබාගත්  ඇතැම් අය එය විකිණුවා. ලාභය ලැබුණේ රටට නෙවෙයි ඔවුන්ගේ සාක්කුවටයි.

මෙම ක්‍රමවේදය  ගැන කිසිවෙකු බිය විය යුතු නැහැ. විද්‍යුත් මාධ්‍ය මගේ ගෙදර ගිනි තැබුවා පමණක් නෙවෙයි වටිනා පොත් 3000ක් විතර නැති කළා. ඒක මට වුණු පාඩුවක්. දැන් මේ ඉල්ලා සිටින්නේ ගෙවල් ගිනි තියන බලපත්‍රය ඕන කියලද ?

අද මෙම ස්ථානයට අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සහභාගී වී සිටිනවා. මම විශේෂයෙන් එතුමාට ස්තූති කළ යුතුයි මේ හෝමාගම දියුණු කිරීමට එතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව. මාධ්‍යයට මම  කියනවා කිසිදු බියක් තබා ගන්න එපා. ඕනෑම ගැටලුවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා සමඟ කතා කරන්න කියලා.

මහජනආරක්ෂාවපිළිබඳඅමාත්‍යටිරාන්අලස්මහතා,

ජනාධිපතිතුමා මට මේ අමාත්‍යංශය භාර දෙනවිට ආයතන හතරක් භාර දුන්නා. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පිළිබඳ අධිකාරිය, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ අධිකාරිය එම ආයතන හතර වෙනවා.

එම ආයතන ලබා දීමේදී  ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දුන්නේ මහජනතාවට හරිහමන් සේවාවක්  සැපයීම විධිමත් කරන්න කියලයි. මීට මාස ගණනකට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුව ගාව විශාල පෝලිම් තිබුණා. 

ඩිජිටල්කරණය හඳුන්වාදීම මඟින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මීට මාසෙකට පෙර සිට පෝලිං නැති කිරීමට  අපට හැකි වුණා.අද අප මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කර තිබෙනවා. මෙම මාර්ගත ක්‍රමය ඔස්සේ දවස් තුනෙන් බලපත්‍ර ලබාගන්නා අය සඳහා රුපියල් 15,000කටත්, දින 14න් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට රුපියල් පන් දාහකටත් බලපත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී  සුහුරුපාය ගොඩනැගිල්ල තුළ ජනතාවට උපතේ සිට මරණය දක්වා අවශ්‍ය ලිපි ලේඛන එක වහලක් යටින් ලබා  ගැනීමට  අවස්ථාව  තිබෙනවා.

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක, ආගමන විගමන  පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය,  හෝමාගම ප්‍රාදේශීය ලේකම් ඩී.ඒ.ඩී. චින්තක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ පැවැත්වූ ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වෙති

Published

on

By

නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරනු ලැබිණි.

නියෝජිත පිරිසට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූහ.

මැයි 26 වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයක් සහ දැනුවත් කිරීමේ සැසියක් සමඟ වැඩසටහන ආරම්භ විය. අනතුරුව ලෝක් සභාව, රාජ්‍ය සභාව, ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට ද පිරිස එක්වූ අතර ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳව එහිදී හදුන්වාදීම සිදු කෙරිණි.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක්වූහ. ඒකාබද්ධ ලේකම් ශ්‍රී එච්. රාම් ප්‍රකාශ් සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ශ්‍රී මුරලීධරන් පී. විසින් මෙහෙයවන ලද මෙම සැසිය, මූලික මූල්‍ය කාරක සභා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හදුන්වා දීම සිදු කෙරිණි.

මෙම කාරක සභාව විසින් විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම සිදුකරන අතර මෙම කමිටුවේ කටයුතු මාධ්‍ය සඳහා විවෘත නොවේ.

දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා (DRSCs) පිළිබඳව සැසිය ගරු හිටපු මන්ත්‍රී සත්‍යපාල් සිං විසින් මෙහෙයවන ලදී. විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීම්  සම්බන්ධව මෙම කමිටුව විසින් විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

පාර්ලිමේන්තුවේ අසනු ලබන ප්‍රශ්න සහ පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි. එරට ප්‍රශ්න වේලාව තුළ දිනකට ප්‍රශ්න 20 කට අවසර දී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදී.

අමාත්‍යවරුන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14 ක දැනුම් දීමේ කාල සීමාවක් ලබා දෙන බවත් පෙ.ව. 10:30 වන විට ලිඛිත පිළිතුරු සභා මේසය මත තැබීම සිදු කරන බවත් මෙහිදී සාකච්ඡා විය.

ඉන්දියාවේ ශක්තිමත් අධීක්ෂණ සහ ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීම මෙමගින් සිදුවූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංසන්දනාත්මකව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය.

මැයි 28 වන බදාදා, දූත පිරිස දිල්ලියේ පිහිටි ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරියේ (Unique Identification Authority of India /UIDAI) මූලස්ථානයට ගියහ. එහි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී බුවනේෂ් කුමාර්, විසින් ඔවුන් පිළිගනු ලැබූ අතර  ඉන්දියාවේ ජෛවමිතික හඳුනාගැනීමේ පද්ධතිය වන AADHAAR යටතේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අවබෝධය  ලබාදීම මෙහිදී සිදුවිය. ජෛවමිතික සත්‍යාපනය, දත්ත ආරක්ෂාව සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය සේවා සැපයීමේදී AADHAAR ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඇතුළුව එහි මූලික සංරචක පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරියා විස්තර කළේය.

සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ගරු ශ්‍රී ඕම් බිර්ලා මහතා හමුවිය. සාකච්ඡාවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා අවධාරණය කෙරිණි.

ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ අවශ්‍යතාව කථානායකවරයා අවධාරණය කළේය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේදී ඩිජිටල් නවෝත්පාදනයේ පරිවර්තනීය කාර්යභාරය ද මෙම සංවාදයේදී ඉස්මතු විය.

නියෝජිත පිරිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පර්යේෂණ සහ තොරතුරු පද්ධතිය (Research and Information System for Developing Countries /RIS) නැරඹීමට ගිය අතර එහිදී සංවර්ධන උපාය මාර්ග සහ ගෝලීය සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සචින් චතුර්වේදි මහතා සමඟ සම්බන්ධ විය.

සංචාරය අතරතුර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවූ මෙරට දූත පිරිස කලාපීය සහයෝගීතාව, ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා  ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව සාකච්ඡා කළහ.

මෑතදී පහල්ගම් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරමින් ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ දූත පිරිස, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් සහ සාමය සහ ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය කැපවීම නැවත අවධාරණය කළේය.

මැයි 29 වන බ්‍රහස්පතින්දා, නියෝජිත පිරිස අග්‍රා වෙත සංස්කෘතික සංචාරයක් කළ අතර එහිදී ඔවුන් ඓතිහාසික ටජ්මහල සහ රතු කොටුව දැකබලා ගැනීමට එක්වූහ.

ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට, මහජන නියෝජිතයන්ට පක්ෂ මාරුවීම් විරෝධී නීතිය, ආණ්ඩුපක්ෂ හා විපක්ෂ සංවිධායකවරුන්ගේ  කාර්යභාරය, ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමඟ අන්තර්ක්‍රියා ආදී සාකච්ඡා ගණනාවක් ඇතුළත් විය.

මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි.

Continue Reading

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved