ඡායාරූප සටහන

“අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේදී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍යයි”

Published

on

අලුත් ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ දී ආකල්ප සංවර්ධනය වූ තරුණ පරපුරක් අවශ්‍ය බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරයේ දෙවන දින විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

ශ්‍රී ලංකා පස් වැනි යොවුන් පාර්ලිමේන්තුවේ හය වැනි සැසිවාරය ජූනි 08 සහ 09 දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙහි පළමු දිනයේ (08) විශේෂ ආරාධිතයන් ලෙස  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.

දෙවන  දිනයේ (09) විශේෂ ආරාධිතයා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහභාගී වූ අතර ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්,  ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පෙන්වා දෙමින් යෝජිත ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්බන්ධව හා වර්තමානයට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාවේ ජාතික තරුණ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම යන මාතෘකා මෙවර සැසිවාරයේ දී සංවාදයට ගැනිණි. ‍

යොවුන් පාර්ලිමේන්තුවේ සමස්ථ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පළමු දිනයේ සාමාජික සාමාජිකාවන් හැට දෙදෙනෙකු සහ  දෙවන දිනයේ සාමාජික සාමාජිකාවන් හැත්තෑ නව දෙනෙකු  සැසිවාරය සඳහා සහභාගී වුහ.

තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැගු ප්‍රශ්න කිහිපයකටද මෙහිදී සාධනීය පිළිතුරු ලබා දුන් සාගල රත්නායක මහතා තරුණ පාර්ලිමේන්තුව සඳහා සක්‍රීය සහභාගිත්වය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමට ද එක් විය.

යොවුන් පාර්ලිමේන්තු සාමාජික සාමාජිකාවන් ඇමතු සාගල රත්නායක මහතා වැඩිදුරටත්
මෙසේ ද පැවසීය.

“මෙම සැසිවාරයේ දී තරුණ ප්‍රතිපත්තියත්, ආර්ථික පරිවර්තන පනතත් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. රට තුළ නව ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා කැපවී කටයුතු කරන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් බව කිව යුතුයි. අප අවසන් වශයෙන් අලුත් ආර්ථිකයක් මේ රට තුළ දුටුවේ 1978/79 සමයේ ආරම්භ වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියයි. ඉන් පසු ආර්ථික ප්‍රතිපත්තිවලට සංශෝධන එක් වුවා මිස සම්පූර්ණ අලුත් ආර්ථිකයක් රටට හඳුන්වා දීම සිදු වුණේ නැහැ. ඒ හේතුවෙන් අපට රටක් ලෙස තරගකාරිත්වයට මුහුණ දෙමින්  වේගයෙන් ඉදිරියට යාමට නොහැකි වුණා.


ඒ වගේම අපේ ආර්ථිකයට දේශපාලන බලපෑම් විශාල ලෙස බලපානු ලැබුවා. එපමණක් නොවෙයි අපේ තරුණ දරුවන්ගේ ආකල්පත් මීට බලපෑවා. අලුත් ආර්ථිකයක් සමග ඉදිරියට යාමේ දී තරුණ පරපුරේ ආකල්ප ද ඒ හා සමගාමීව සංවර්ධනය විය යුතුයි.

දරුවන්ගේ අධ්‍යාපනය, දැනුම සහ පුහුණුව වර්ධනය නොකළහොත් අප මොනතරම් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නද ඉන් ප්‍රයෝජනයක් ගැනීමට හැකි වන්නේ නැහැ. ජනාධිපතිතුමා ද සෑම අවස්ථාවකම මෙය පෙන්වා දෙනවා. අප ගමන් කරන අලුත් ආර්ථිකයට අවශ්‍ය පුහුණුව දැන් සිටම දරුවන්ට ලබාදිය යුතුයි. ඒ සඳහා මනස සකස් කළ යුතුයි.

එහිදි පැරණි හණමිටි අදහස් අප වෙනස් කරගත යුතුයි. හොද දේවල් අප ඉදිරියට ගෙන යා යුතුයි වගේම දුර්වල දේ අත්හැරිය යුතුයි. එසේම අලුත් වැඩපිළිවෙළේද හොද දේ පමණක් ගනිමින් දුර්වල දේ අතහැරිය යුතුයි. ඒ නිසා අලුත් පනත් ගේනවා වගේම තරුණ පරපුරේ දියුණුව වෙනුවෙන් රජය කැපවී කටයුතු කරන බවද මෙම මෙහිදී සිහිපත් කරනවා.”

Trending

Exit mobile version