Connect with us

ඡායාරූප සටහන

ඇසළ පෙරහර සාර්ථකව නිම කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට (ඡායා)

Published

on

හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (31) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් මහනුවර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය. 

අනතුරුව දියවඩන නිලමේවරයා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇත් පැටවාට පලතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිවරයා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවයි.

පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය. “ඇසළ පෙරහර භාරය” මඟින් පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණු අතර මධ්‍යම පළාත් සංස්කෘතික අමාත්‍යංශය විසින් සම්පාදිත “පූජනීය දළදා සංස්කෘතිය”  ග්‍රන්ථය ද පිළිගැන්විණි. 

පෙරහර සංවිධානය කිරීමට කැපවූ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාලවල නිලමේවරුන් ප්‍රමුඛ ඊට අනුග්‍රහය දැක්වූ සියලුදෙනාට මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ ආගමික මෙන්ම ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතිය ලෝකය හමුවට ගෙන යන විචිත්‍රවත් සංස්කෘතික මංගල්‍යයක් වූ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවයි.

අලි ඇතුන් ආරක්ෂා කළයුතු බව තමා ද පිළිගන්නා නමුත් අපගේ පෞරාණික චාරිත්‍ර ද ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යා යුතු බවත් පෙරහරට හීලැ අලි ඇතුන් ලබා ගැනීම ඇතුළු මතුව ඇති ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා පැවසීය. 

ලබන වසර වන විට මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත් කර ගැනීමේ වැඩපිළිවෙළේදී මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහරට සුවිශේෂී ස්ථානයක් හිමි වන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත්. යූ ගමගේ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී  ගුණතිලක රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් හා ත්‍රිවිධ හමුදා ප්‍රධානින් ද, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සතර මහා දේවාල හා පිටිසර දේවාල නියෝජනය කරන බස්නායක නිලමේවරු හා සෙසු නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved