නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතාගේ නායකත්වයෙන් යුත් මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් 2025 මැයි 25 සිට 31 දක්වා ඉන්දියාවේ පැවති ධාරිතා සංවර්ධන වැඩසටහනකට සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා මහතා විසින් කරන ලද ආරාධනයකට අනුව, මෙම වැඩසටහන ලෝක් සභා ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු අධ්‍යයන හා පුහුණු කාර්යාංශය (BPST) විසින් සංවිධානය කරනු ලැබිණි.
නියෝජිත පිරිසට ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනි හේමාලි වීරසේකර මහත්මිය, සභාගර්භයේ සභාපති මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපතිවරු, රජය සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් මීට ඇතුළත් වූහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම වැඩසටහනට එක්වූහ.
මැයි 26 වන දින නවදිල්ලියේ පාර්ලිමේන්තු පුස්තකාල ගොඩනැගිල්ලේ පැවති පිළිගැනීමේ උත්සවයක් සහ දැනුවත් කිරීමේ සැසියක් සමඟ වැඩසටහන ආරම්භ විය. අනතුරුව ලෝක් සභාව, රාජ්‍ය සභාව, ඇතුළු වැදගත් ස්ථාන දැකබලා ගැනීමට ද පිරිස එක්වූ අතර ඉන්දියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනික හා ඓතිහාසික වැදගත්කම පිළිබඳව එහිදී හදුන්වාදීම සිදු කෙරිණි.
ඉන්දියානු පාර්ලිමේන්තුවේ මූල්‍ය කාරක සභා පිළිබඳව දැනුවත් කිරීමකට නියෝජිත පිරිස එක්වූහ. ඒකාබද්ධ ලේකම් ශ්‍රී එච්. රාම් ප්‍රකාශ් සහ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ශ්‍රී මුරලීධරන් පී. විසින් මෙහෙයවන ලද මෙම සැසිය, මූලික මූල්‍ය කාරක සභා, විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ විපක්ෂ නායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය ගිණුම් කාරක සභාව (PAC) පිළිබඳව හදුන්වා දීම සිදු කෙරිණි.
මෙම කාරක සභාව විසින් විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කිරීම සිදුකරන අතර මෙම කමිටුවේ කටයුතු මාධ්‍ය සඳහා විවෘත නොවේ.
දෙපාර්තමේන්තු සම්බන්ධ ස්ථාවර කාරක සභා (DRSCs) පිළිබඳව සැසිය ගරු හිටපු මන්ත්‍රී සත්‍යපාල් සිං විසින් මෙහෙයවන ලදී. විසර්ජන පනත් කෙටුම්පතට අදාළව අමාත්‍යාංශවලට මුදල් වෙන් කිරීම් සම්බන්ධව මෙම කමිටුව විසින් විශ්ලේෂණය කරන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
පාර්ලිමේන්තුවේ අසනු ලබන ප්‍රශ්න සහ පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.කේ. ප්‍රේමචන්ද්‍රන් මහතා විසින් මෙහෙයවන ලද සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි. එරට ප්‍රශ්න වේලාව තුළ දිනකට ප්‍රශ්න 20 කට අවසර දී ඇති බව මෙහිදී පෙන්වා දෙන ලදී.
අමාත්‍යවරුන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 14 ක දැනුම් දීමේ කාල සීමාවක් ලබා දෙන බවත් පෙ.ව. 10:30 වන විට ලිඛිත පිළිතුරු සභා මේසය මත තැබීම සිදු කරන බවත් මෙහිදී සාකච්ඡා විය.
ඉන්දියාවේ ශක්තිමත් අධීක්ෂණ සහ ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දීම මෙමගින් සිදුවූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සංසන්දනාත්මකව ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ අවස්ථාව හිමිවිය.
මැයි 28 වන බදාදා, දූත පිරිස දිල්ලියේ පිහිටි ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරියේ (Unique Identification Authority of India /UIDAI) මූලස්ථානයට ගියහ. එහි ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී බුවනේෂ් කුමාර්, විසින් ඔවුන් පිළිගනු ලැබූ අතර ඉන්දියාවේ ජෛවමිතික හඳුනාගැනීමේ පද්ධතිය වන AADHAAR යටතේ පවතින ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳව අවබෝධය ලබාදීම මෙහිදී සිදුවිය. ජෛවමිතික සත්‍යාපනය, දත්ත ආරක්ෂාව සහ ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ රාජ්‍ය සේවා සැපයීමේදී AADHAAR ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඇතුළුව එහි මූලික සංරචක පිළිබඳව ප්‍රධාන විධායක නිලධාරියා විස්තර කළේය.
සංචාරය අතරතුර, නියෝජිත පිරිස ලෝක් සභාවේ කථානායක ගරු ශ්‍රී ඕම් බිර්ලා මහතා හමුවිය. සාකච්ඡාවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සංස්කෘතික හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා අවධාරණය කෙරිණි.
ගෝලීය ත්‍රස්තවාදයට එරෙහිව ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම සහ අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාවයේ අවශ්‍යතාව කථානායකවරයා අවධාරණය කළේය. ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේදී ඩිජිටල් නවෝත්පාදනයේ පරිවර්තනීය කාර්යභාරය ද මෙම සංවාදයේදී ඉස්මතු විය.
නියෝජිත පිරිස, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා පර්යේෂණ සහ තොරතුරු පද්ධතිය (Research and Information System for Developing Countries /RIS) නැරඹීමට ගිය අතර එහිදී සංවර්ධන උපාය මාර්ග සහ ගෝලීය සහයෝගීතාව පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සචින් චතුර්වේදි මහතා සමඟ සම්බන්ධ විය.
සංචාරය අතරතුර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා හමුවූ මෙරට දූත පිරිස කලාපීය සහයෝගීතාව, ඉන්දියාවේ “අසල්වැසියා පළමුව” ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය පිළිබඳව සාකච්ඡා කළහ.
මෑතදී පහල්ගම් ප්‍රහාරය පිළිබඳව කනගාටුව පළ කරමින් ඉන්දියාව සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කළ දූත පිරිස, ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකිමින් සහ සාමය සහ ආරක්ෂාව සඳහා අන්‍යෝන්‍ය කැපවීම නැවත අවධාරණය කළේය.
මැයි 29 වන බ්‍රහස්පතින්දා, නියෝජිත පිරිස අග්‍රා වෙත සංස්කෘතික සංචාරයක් කළ අතර එහිදී ඔවුන් ඓතිහාසික ටජ්මහල සහ රතු කොටුව දැකබලා ගැනීමට එක්වූහ.
ධාරිතා ගොඩනැගීමේ වැඩසටහනට, මහජන නියෝජිතයන්ට පක්ෂ මාරුවීම් විරෝධී නීතිය, ආණ්ඩුපක්ෂ හා විපක්ෂ සංවිධායකවරුන්ගේ කාර්යභාරය, ව්‍යවස්ථාදායක සහ අයවැය ක්‍රියාවලිය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාර ධර්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සමඟ අන්තර්ක්‍රියා ආදී සාකච්ඡා ගණනාවක් ඇතුළත් විය.
මෙම වැඩසටහන හරහා පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය වැඩිදියුණු කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කෙරිණි.