ඡායාරූප සටහන

ඉන්දීය මහ කොමසාරිස් උතුරේ නිල සංචාරයක (ඡායා)

Published

on

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 2024 පෙබරවාරි 15-17 දිනවලදී සිය ප්‍රථම නිල උතුරු පළාත් සංචාරයේ නිරත විය. 

මෙම සංචාරය අතරතුර සිදුකෙරුණු විවිධ නියැළීම් ද්විපාර්ශ්වික හවුල්කාරීත්වයේ ගැඹුර සහ උතුරු පළාත සමඟ සමාජ ආර්ථික සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීමට ඉන්දියාව දක්වන දැඩි කැපවීම පිළිඹිබු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. ශ්‍රී ලංකා රු. බිලියන 70කට වැඩි ප්‍රදාන සමඟින් උතුරු පළාත ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ විවිධ ආකාරයේ සංවර්ධන සහයෝගීතාවයේ ඉහළ අවධානයක් යොමු වන කලාපයක් වන අතර මෙම සංචාරය කලාපයේ ජනතාව උදෙසා ඉන්දියාවේ අචල කැපවීම අවධාරණය කිරීමට අවස්ථාවක් වූ බවද එහි වැඩිදුරටත් දැක්වේ.

මහ කොමසාරිස්වරයා 2023 ජූලි මාසයේදී නිකුත් කරන ලද දැක්ම ප්‍රකාශනයේ සඳහන් ද්විපාර්ශවික ආර්ථික හවුල්කාරීත්වයේ කේන්ද්‍රීය තේමාව වන සම්බන්ධ කතා මුලපිරීම් ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය. ජා මහතා කන්කසන්තුරය වරායේ සහ ඓතිහාසික මන්නාරම ජැටියේ සංචාරයක නිරත වූ අතර දෙරට අතර බෝට්ටු සේවා කඩිනමින් යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ සාකච්ඡා කළේය. ඉදිරි සති කිහිපයේ දී නාගපට්ටිනම් සහ කන්කසන්තුරය වරාය අතර බෝට්ටු සේවා යළි ඇරඹීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළ ඒ මහතා, තලෙයිමන්නාරම සහ රාමේෂ්වරම් අතර බෝට්ටු සේවා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක ප්‍රයත්නයන් පිළිබඳව ද සඳහන් කළේය. 

පලාලි ගුවන්තොටුපළ වෙත සිදු කළ සංචාරයේ දී එතුමා ගුවන් තොටුපළේ යටිතල පහසුකම් සංවර්ධනය හරහා ගුවන් සම්බන්ධකතාවය ශක්තිමත් කළ හැකි ආකාර ද සොයා බැලුවේය. 



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් බෙදා හදා ගන්නා පොහොසත් සංස්කෘතික උරුමය අවධාරණය කරමින් මහ කොමසාරිස්වරයා ඓතිහාසික රාම් සේතු (ආදම්ගේ පාලම) හිදි විශේෂ පූජාවක ද නිරත වී ඇති අතර, ඒ මහතා ඉන්දීය රජයේ ප්‍රදාන යටතේ අලුත්වැඩියා කරන ලද ඓතිහාසික තිරුකෙතිෂ්වරම් කෝවිල ද වැඳ පුදාගෙන තිබේ.

තවද, නයිනතිව් දූපතේ නාගපූෂාණී අම්මාන් කෝවිල සහ නාග විහාරය, මන්නාරම පූජනීය මඩු දේවස්ථානය සහ නල්ලූර් කන්දස්වාමි කෝවිල යන පූජනීය ස්ථානද වැඳ පුදා ගත් මහ කොමසාරිස්වරයා, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබ සිද්ධිය සහ සෞභාග්‍යය උදෙසා ප්‍රාර්ථනා කළේය. ඉන්දීය ජනතාවගේ තිළිණයක් වන යාපනය සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති ත්‍යාගරාජා ආරාධනා වැඩසටහනට ද ඒ මහතා සහභාගී විය.

සමාජයේ විවිධ කොටස් වෙත ඉන්දියාවේ කැපවීම යළි අවධාරණය කරමින් මහ කොමසාරිස්වරයා මන්නාරම ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන් වැඩි දියුණු කිරීමේ අරමුණින් ඔවුන්ට අධි ශීතකරණ බෙදා දී තිබේ. එතුමා යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත පවුල් සිය ගණනකට වියළි සලාකද බෙදා දී ඇති අතර එහිදී කාන්තා මූලික පවුල් වෙත විශේෂ අවධානයක් යොමු කර තිබිණ. 

යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත්වල බලශක්ති අවශ්‍යතාවයන් සපුරාලීම සදහා දායකත්වය ලබාදීමට ඉන්දියාව දක්වන ප්‍රයත්නය හා සමගාමීව මහ කොමසාරිස්වරයා, නයිනතිව් දූපතේ දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම පිළිබඳව සොයා බලා ඇත. මෙම ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ ප්‍රදාන හරහා ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ක්‍රියාත්මක කරනු ලැබේ. 

තවද, මහ කොමසාරිස්වරයා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී සිය උපහාරය ද පළ කර තිබේ.

මෙම සංචාරය තුළදී මහ කොමසාරිස්වරයා , පත්වූ නියෝජිතයන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විවධ ක්ෂේත්‍රවල බොහෝ දෙනෙකු සමඟ සහයෝගීතාවය සහ සංවර්ධනය වඩා ඉහළ නැංවිය හැකි ආකාර පිළිබඳව හරවත් සාකච්ඡාවල නිරත වී ඇත. 

(ඡායා : කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)

Trending

Exit mobile version