ඡායාරූප සටහන

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත වෙයි (වීඩියෝ / ඡායා)

Published

on

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. 

මෙහිදී අදහස් දැක්වූ ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පවසා තිබුණේ ඉරාන ඉරානය ශ්‍රී ලංකාව සමඟ සිය දැනුම, විශේෂඥතාවය හා අත්දැකීම් බෙදා ගැනීමට සුදානම් බවයි. ඉරාන ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ දැවැන්ත ව්‍යාපෘතිවල හවුල්කාරීත්වය ඇතුළුව මෙරට ප්‍රගතිය උදෙසා ඉරානය ඕනෑම මොහොතක පෙනී සිටින බවයි.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ඉරානය විසින් ලබාදුන් තාක්ෂණික සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පිරිනමන බවත්, ඉරානයේ සහාය නොමැතිව ශ්‍රී ලංකාවට උමා ඔයෙහි ජලය කිරිඳි ඔයට ගෙනයාමට නොහැකි වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය. ගෝලීය දකුණේ රටවල් සිය අනන්‍යතාව සහ ස්වාධීනත්වය තහවුරු කිරීමට ඇති කැමැත්ත සිහිපත් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ගෝලීය දකුණේ රටවල් එක්ව නැගී සිටිය යුතු බව ද අවධාරණය කළේය.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යනු මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ ඉදි කරන ලද විශාලතම වාරි ව්‍යාපෘති වලින් එකකි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ පවතින ජල හිඟය සමනය කිරීම සඳහා උමා ඔය ද්‍රෝණියේ පරිසරයට හා ජල ප්‍රභවයන්ට හානියක් නොවන පරිදි එහි පවතින වාර්ෂික සාමාන්‍ය ඝන මීටර් මිලියන 145 (MCM)ක අතිරික්ත ජලය කිරිඳි ඔය ද්‍රෝණියට හැරවීමයි.

මෙමඟින් මොණරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොණරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා පුහුල්පොල සහ ඩයරබා ජලාශ දෙක ඉදිකිරීම, ජලාශ දෙක සම්බන්ධ කරන කිලෝමීටර් 3.98 දිගකින් යුත් ජල ප්‍රවාහ උමග (සම්බන්ධක උමග), කිලෝමීටර් 15.2 ක දිගකින් යුත් ප්‍රධාන උමග, භූගත විදුලි බලාගාරය, සම්ප්‍රේෂණ මාර්ගය සහ ඒ ආශ්‍රිත අනෙකුත් ඉදිකිරීම්වලින් සමන්විතය.

(වීඩියෝ / ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Trending

Exit mobile version