Connect with us

ඡායාරූප සටහන

‘උරුමය’ කඩා කප්පල් කරන අය ගැන මන්ත්‍රීවරුන්ට කියන්න. මන්ත්‍රීවරු මට කියන්න”

Published

on

තමන්ගේ උරුමය ලබා ගැනීමට ජනතාවට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා “උරුමය” වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේය.

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවන් නිලධාරීන් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා  සිටි අතර, එම තොරතුරු තමා වෙත ලබා දෙන  ලෙස  මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බව ද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17ක සුදුසුකම්ලාභීන් 20,000ක් අතුරින් පුද්ගලයන් 1,654ක් වෙනුවෙන් සංකේතාත්මකව ඉඩම් ඔප්පු ප්‍රදානය වෙනුවෙන් අද (25) පෙරවරුවේ අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි. 

මෙහිදී ජනාධිපතිවරයා සංකේත්තාමකව ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට එක් විය. 

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අද ඔබ සියලුදෙනාටම සින්නකර ඉඩම් අයිතිය හිමි වෙනවා. මෙය ආරක්ෂා කරගෙන ඔබගේ දරුවන්ට ලබාදීම ඔබ සියලුදෙනාගේම වගකීමයි. මෙම වැඩසටහන ආරම්භ කරන විට මෙම ඉඩම් අයිතිය ලබා දෙන්නේ ඇයි කියලා ඇතැම් අය ප්‍රශ්න කළා. අපි ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන්නේ සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කරගත් නීතියෙන්මයි. මෙය ඔබේ උරුමයයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් අප දිවයින පුරා ලබා  දීමට  සැලසුම් කර තිබෙනවා. එම කටයුතු සඳහා මිණුම් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල වැඩි කිරීමට ද මේ වන විට පියවරගෙන තිබෙනවා. 

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරනවා. බොහෝ පිරිසක් මීට සහාය ලබා දෙනවා. නමුත් ජනතාව බියට පත්කරන නිලධාරින් පිරිසක් පිළිබඳවත් තොරතුරු ලැබී තිබෙනවා. මේ ඉඩම් ආපසු රජයට පවර ගන්න පුළුවන්, ඒ නිසා සින්නකර ඔප්පුවක් ගන්නේ ඇයි කියා ඔවුන් ප්‍රශ්න කරන බව දැන ගන්නට ලැබී තිබෙනවා. නමුත් නැවත වරක් ඔබෙන් යම් නිලධාරියෙක් එවන් ප්‍රශ්න කිරීමක් සිදු කළහොත් එම නිලධාරින් පිළිබඳ තොරතුරු තමන්ගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට දැනුම් දෙන්න කියා මම ඉල්ලනවා. එම නිලධරින් පිළිබඳ සොයා බලා මට කරුණු වාර්තා කරන්න කියා මම මන්ත්‍රීවරුන්ට ද දැනුම් දෙනවා.

එවන් ප්‍රකාශ සිදු කරමින් කඩාකප්පල්කාරීව හැසිරෙන නිලධාරින් සුළු පිරිස හොඳින් රාජකාරී කරන නිලධාරින්ගේ ගෞරවය ද නැති කරනවා. ඒකට ඉඩ දෙන්න බැහැ. 

ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගොස් මෙම ඉඩම් ලැබීමට සුදුසුකම් ලබන අය පිළිබඳ තොරතුරු සොයා බලා අපට ලබාදෙන ලෙස මම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළිබඳ මම ආණ්ඩුකාරවරුන් ද දැනුවත් කර තිබෙනවා. එවිට ඔබ සියලුදෙනාට එක්ව මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම කරගත හැකියි. ඒ නිසා මේ වැඩපිළිවෙළ වෙනුවෙන් සම්පුර්ණයෙන් කැපවන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. 
මෙම ඉඩම් අයිතිය ලබාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. මෙම ඉඩම් හිමිකම් ලබන ගොවි ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ නැංවිය යුතුයි. එමගින් රටේ කෘෂි නිෂ්පාදනය ඉහළ නැංවිය හැකියි. ඒ සඳහා අප කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන හරහා සියලු බෝග වගාවන් වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සිදු කෙරෙනවා. ඒ සමඟ ඊළග වසර 05 තුළ තම නිෂ්පාදන ඉහළ නංවා ගැනීමට ගොවි ජනතාවට අවශ්‍ය සහාය හිමි වෙනවා.

ඒ නිසා ඉදිරි මාස 02 තුළ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් ඔප්පු සියල්ල ලබාදීමට පක්ෂ බේදයකින් තොරව මූලිකත්වය ගෙන කටයුතු කරන ලෙස මම මෙහි සිටින සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.” 

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved