ඡායාරූප සටහන

‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තදින්ම අන්තර්ගත වූවක් – විජිත

Published

on

‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තදින්ම අන්තර්ගත වී ඇතැයි ශ්‍රී ලංකාවේ නව විදේශ අමාත්‍ය – විජිත හේරත් මහතා සහතික කරයි.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ඊයේ (සැප්. 25) කොළඹදී පැවති උත්සවයකදී ඔහු මේ බව පැවසුවේය.දෙරට අතර අඛණ්ඩ හුවමාරු කිරීම්, ආර්ථික අර්බුදයේදී ශ්‍රී ලංකාවට ලද සහය, එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ නිම කරන ලද ව්‍යාපෘති මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලියේදී චීන මූල්‍ය ආයතන වෙතින් ලබාදුන් සහය බෙහෙවින් අගය කරන බවද ඔහු පැවසීය.

ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේදී මුහුණදෙන අභියෝග හමුවේ තවදුරටත් චීනයේ සහයෝගීතාවය හා අඛණ්ඩ හවුල්කාරිත්වය අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උත්සව සභාව ඇමතූ ශ්‍රී ලංකාවේ චීන තානාපති – චී ජන්හොං මහතා පැවසුවේ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවත්, කුමණ තර්ජන හමුවේ වුවත්, චීන රජය හා ජනතාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ ස්ථිරව එක්ව සිටින බව ඉතිහාසය ඔප්පු කර ඇති බවයි.

“ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවත්, සම්ප්‍රදායික හෝ සාම්ප්‍රදායික නොවන තර්ජනවලට මුහුණ දුන්නත්, චීන රජය සහ ජනතාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ ස්ථිරව එක්ව සිටින බව ඉතිහාසය ඔප්පු කර ඇත. චීනය ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු හා හවුල්කරුවෙකු ලෙස පවතියි. චීනය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වඩ වඩාත් සමීප වන තරමට සිය ස්වෛරීභාවය, ආරක්ෂාව, සංවර්ධනය සහ අභිමානය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටු කිරීමටත් ශ්‍රී ලංකාවට හැකිවනු ඇත,” යැයි ඔහු පැවසීය.

මේ අතර, ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹා ඇති ශ්‍රී ලංකාවට, චීනය ඇතුළු අනෙක් මිත්‍ර රටවල සහයෝගය සමග හා නව ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සියළු අභියෝග ජයගෙන ආර්ථික අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකි වනු ඇතැයි තමා තරයේ විශ්වාස කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම උත්සවයට රාජ්‍යතාන්ත්‍රිකයින්, දේශපාලඥයින්, හමුදා සාමාජිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

Trending

Exit mobile version