ඡායාරූප සටහන

කාන්තා දිනය වෙනුවෙන් හිටපු මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී බුහුමන් (ඡායා)

Published

on

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සංවිධනය කළ, මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරියන් අගයමින් විශේෂ සැමරුම් වැඩසටහනක් අද (07) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාව සඳහා අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ, යන මහත්ම  මහත්මීන් සහභාගී වූහ.

“ඇය වෙනුවෙන් සමතාවය සහ සමානාත්මතාවය” යන්න තේමා කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

වැඩසටහන ආරම්භ කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළ, දැනට ජිවතුන් අතර නොමැති සියලුම මන්ත්‍රීවරුන් සිහිකරමින් විනාඩියක නිහඬතාවක් ආරක්ෂා කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල ලාංජනය එළිදැක්වීම ඉන් අනතුරුව සිදුවූ අතර එම සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් විසින් නිල ලාංජනයෙන් අර්ථවත් වන කරුණු සම්බන්දයෙන්  පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව හිටපු සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට උපහාර පිරිනැමීම සිදුවුනි. එහිදී ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමා ආර්.ඩී බණ්ඩාරනායක මහත්මිය සහ මෙරට ප්‍රථම ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගෞරවයෙන් සිහිපත් කර උපහාර පුදකරන ලදී.  අනතුරුව සියලුම මන්ත්‍රීවරියන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වරියන්ගේ සංසදයේ නිල ලාංජනය පැළඳ වූ අතර ඔවුන් සඳහා සංසදයේ නිල සමාජිකත්ව කාඩ්පත පිරිනැමීමද සිදුවිය.

ඉන් පසුව පාර්ලිමේන්තු සංකීර්ණයේ නිර්මාණ කළ1931 වසරේ සිට මේ දක්වා සියලුම මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත ‍විශේෂ පුවරුව කථානායක වරයාගේ විසින් නිරාවරණය කරන ලදී.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) අනුග්‍රහයයෙන් සහ සහයෝගයෙන් සංවිධානය කල මෙම වැඩසටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ,පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගේ ඥාතීන්, පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Trending

Exit mobile version