Connect with us

ඡායාරූප සටහන

ජනපතිගෙන් ගුරුවරුන්ට තරවටුවක්

Published

on

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (ඔන්ලිනේ හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ඓඓඓ ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු  සඳහා පත් වීම් ප්‍රදානය කිරීම  හා උපාධිධාරින්  1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට  ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

“පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන  ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.

අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.

ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.

රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි.  එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත්  ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.
ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.

අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.


පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා, බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ  එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.


අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.

දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද  කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.

ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා.  ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.”

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved