ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍ය බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ජනාධිපති ධූරයේ විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවලටත්, පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා වෙතත් ලබාදී ඇති බව සඳහන් කළ අතර ඉදිරියේ දී ගෙන එන නව පනත් කෙටුම්පත් මගින් ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යන බව ද පෙන්වා දුන්නේය.
ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ කර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි.”