Connect with us

ඡායාරූප සටහන

ජනපති ජර්මානු ජනාධිපති හමුවෙයි (ඡායා)

Published

on

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා විසින් අද (11) උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරය (Bellevue Palace) වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මානු ත්‍රිවිධ හමුදා උත්තමාචාර සහිතව පිළිගනු ලැබූ අතර, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා පෙළපාලිය නිරීක්ෂණය සඳහා එක්විය.

නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ (Frank-Walter Steinmeier) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. 

එහිදී දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණ අතර, වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

ජනපති ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (13) පස්වරුවේ ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.

ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, ආයෝජකයන් සහ වෘත්තිකයන් රැසක් එක්ව සිටියහ. මෙම අවස්තාව සදහා සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක උනුසුම් අයුරින් පිළිගත් අතර රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපති අනුර දිසානායක කියා සිටියේ, සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි. 

එහිදී විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.

Continue Reading

ඡායාරූප සටහන

කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ “තක්කඩ” පැළ සිටුවයි (ඡායා)

Published

on

By

ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) පෙරවරුවේ ආරම්භ කෙරිණි. 

ව්‍යාපෘතියේ සමාරම්භය සනිටුහන් කරමින්  “තක්කඩ පැළ” 1600 ක් සිටුවීම අද ආරම්භ කෙරුණු අතර එය ඉදිරියේදී පැළ 6000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ලවණ පරිසරයට ඉතා හොඳින් ඔරොත්තු දෙන ශාක විශේෂ දෙකකින් යුත් මෙම “තක්කඩ ශාකය” රතු දත්ත ලැයිස්තු වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂයකි. අද දින මෙම ස්ථානයේ රෝපණය කෙරුණු Scaevola taccada ශාක විශේෂය අඩි 5 ක් 6 ක් පමණ උසට පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් වන බැවින් නාගරික පරිසරයට ගැලපෙන නිර්දේශිත උස ප්‍රමාණයකින් සහ හරිත වර්ණයකින් යුතු ඉතා ආකර්ශනීය ශාකයක් ලෙස නගරයට අලංකාරයක් ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය පරිසර හා රථ වාහන කොට්ඨාස, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා එල් බී ෆිනෑන්ස් සමාගම සහ හෙම්සඳූ මාර්කටින් වෙළඳ ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. 

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුල්‍ය හා ආර්ථික කටයුතු) ජී. එම. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රාහක ආයතනවල නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“මිහිතලය සමඟ සාමය ගොඩනඟමු”ජගත් පරිසර දින සැමරුමේදී ජනපති කියයි

Published

on

By

කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය මඟහැර නොගත යුතු බවත් කිසිදු භේදයකින් තොරව සියලුදෙනා ඊට එක් විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.

මෙවර ජගත් පරිසර දින තේමාව “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” වන අතර, එම මූලික තේමාව පෙරදැරිව දේශීයව “දලුලන්න – ඉඩදෙන්න” යන තේමාව යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

පාරිසරික පුනර්ජීවනය ඇති කිරීමට අවශ්‍ය අවකාශය ලබා ගැනීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර ජගත් පරිසර දිනය චාරිත්‍රයක් ලෙස සැමරීමට නොව පරිසරය ආරක්ෂා කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග දියත් කිරීමට රජය විසින් අපේක්ෂා කෙරේ.

බන්දුලපෙතියාගේ වාසස්ථාන ප්‍රදේශය අභය භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ නව ගැසට් පත්‍ර 04ක් සහ නිල්ගල රක්ෂිතය පිළිබඳ ගැසට් පත්‍රයක් පිළිගැන්වීම, පාසල් 03ක් පරිසර හිතකාමී ආදර්ශ පාසල් බවට පත් කිරීම, හරිත දුම්රිය ස්ථාන ඇගයීම ආදියද මෙහිදී සිදු විය.

පරිසර අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ ආයතන මෙන්ම සියලුම රාජ්‍ය ආයතන , “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය සහ පාරිසරික සංවිධාන සමඟ එක් ව මෙවර පරිසර දිනය සමරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සම්පූර්ණ කතාව

අද ඉතාමත් වැදගත් දිනයක්. මම රැස්වීම් විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කර තිබෙනවා. විවිධ අදහස්, විවිධ අවස්ථාවල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහෙත් අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නොවෙයි. මට පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත්, අපේ පරිසර පද්ධතියත් පිළිබඳ බැඳීමක් සහ වගකීමක්. ඒ වගේම මෙම උත්සවයත් හුදු උත්සවයක් නොවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ බැදීම, හැගීම සහ වගකීම ප්‍රකාශයට පත් කිරීමක් කියා මම විශ්වාස කරනවා. විදේශිකයන් අපිට හමු වුණොත් එම සියලුදෙනා  කියන්නේ ඔබේ රට ලස්සන රටක් කියලා. අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතා අගනා ඉතිහාසයක් අපට හිමි වී තිබෙනවා. මේ පරිසර පද්ධතිය වර්තමානයේ අපේ රට ලස්සන කර තිබෙනවා.

එහෙත්, අපට පෙනෙන මේ අලංකාරත්වය  පිටුපස ඉතාමත් ගැඹුරු ඛේදවාචකයක් තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයද සැබවින්ම පරිසර පද්ධතිය තුළ තිබෙනවාද?. ඊට වඩා ගැඹුරු ඛේදවාචකයට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍යය හඳුනා ගත්තේ නාය යාම්වලින් තොර රාජ්‍යයක් ලෙසයි. එහෙත් අපේ ජීවිත කාලය තුළම අපි නාය යාමේ ඛේදවාචකය අත් විඳිනවා. අපි කුඩා කාලයේදී අපේ රට හඳුනා ගත්තේ ගංවතුර සහ විශාල නියඟවලින් තොර රාජ්‍යයක් ලෙසයි. එම හිමිකම සමඟ ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුළම මහා ගංවතුරවල සහ මහා නියඟවල විනාශය අත් විදිනවා. ඒ වගේම අලි මිනිස් ගැටුම විශාල ඛේදවාචකයක් වී තිබෙනවා.

ඉතාමත් හොද ජෛව පද්ධතියක් තිබූ අපේ රටේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවින් අතර විශාල ගැටුමක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා වර්තමානයේ ජිවත්වන අපිට අත්හැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. අපි මේ රාජ්‍ය තුළ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කළ යුතුයි. මේ ඛේදවාචකය මේ ආකාරයටම ඉදිරියට ගිය හොත් අපේ අනාගත පරපුර වෙත අපි හිමිකර දෙන්නේ මහත් ඛේදවාචකයක්. ඒ නිසා වර්තමානයේ ජීවත් වන පුරවැසියන් ලෙස අප හමුවේ තිබෙන් අත්හළ නොහැකි වගකීම වන්නේ මේ පරිසර පද්ධතිය යළි ප්‍රතිෂ්ඨාපනය කර අනාගත පරපුරට ආරක්ෂා කර දීමයි. මෙම පරිසරය  පිටුපස ශක්තිමත් අණපනත් විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපේ රටේ බලවත්ම, අණපනත් තිබෙන්නේ පරිසර ක්ෂේත්‍රය තුළ. ඒ වගේම එම අණපනත් ක්‍රියාත්මක කිරීම සහ එමගින් පරිසරයට ආරක්ෂාව ලබා දීම වෙනුවෙන් ඉතා විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා.

පළමුව මෙම විනාශයන් පසුපස දේශපාලන අධිකාරිය තිබෙනවා. අපේ රටේ ප්‍රාදේශීය වැලි තොටුපළවලින් විශාල ප්‍රමාණයක් අයත් වන්නේ දේශපාලනඥයන්ට, එහෙම නැත්නම් දේශපාලනඥයාගේ සමීපතමයෙකුට. මේ තත්ත්වය මට වඩා හොඳින් ඔබ දන්නවා. අපේ වන විනාශය පිටුපසත් දේශපාලනඥයන් සිටිනවා. මේ වනය විනාශ කිරීමට දේශපාලන අධිකාරියේ ආරක්ෂාව සහ රැකවරණය තිබුණා.

ඔබ ජීවය මරා දමන පංගුකරුවෙක් වෙන්න එපා. ඔබ  ජීවය ලබා දෙන පංගුකරුවෙක් වන්න. ඊට අවශ්‍ය දේශපාලන රැකවරණය අපි ලබා දෙනවා. දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වී තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණය යම් කොටස් පැරැණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙන්  හොර පාස්පෝර්ට් හදපු නිලධාරීන් හමු වෙනවා. රේගුවෙන් භාණ්ඩ එළියට දාපු නිලධාරීන් හමු වෙනවා. පතල් කාර්යාංශයෙන්  විවිධ ආක්‍රමිකතා කළ නිලධාරීන් හමු වෙනවා. ඒ නිසා අපි කියන්නේ පරණ පුරුදු අත්හැර අලුත් වෙන්න කාලේ ඇවිත් තිබෙනවා. මා නැවත නැවත මතක් කරන්නෙ වෙනස් වෙන්න නැත්තම් අපි වෙනස් කරනවා.  

මා අනුරාධපුරේ සිටින කාලේ අනුරාධපුර කියන්නේ බඹයක් කැපුවත් වතුර තිබුණු නගරයක්. එහෙත් දැන් බඹ දහයක් කැපුවත් අනුරාධපුරේ වතුර හොයා ගන්න නැහැ. අප හිතුවේ නැහැ අපේ ජීවිත කාලයේදී අනුරාධපුරේ වතුර විකුණන කඩ පැමිණේවි කියලා. ඉස්සර කඩුගන්නාව  නගිද්දී අපට ඇහෙන්නේ රැහැයින්ගේ සද්දෙයි, වතුර සද්දෙයි. අපේ කන් අගුල් වැටුණා. දැන් එහෙම වෙන්නෙ නෑ පරිසරය වියළිලා. අපේ ජීවිත කාලය තුළදීම මේ ඛේදවාචකය අත්දකින පරම්පරාවක් බවට පත් වෙලා.

මධ්‍යම කඳුකරයේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරී තිබෙනවා. පාරිසරික ව්‍යාපෘති ඉදි කිරීමේදී අපි පරිසරය පිළිබඳව කල්පනා කළාද කියා නැවත සිතා බලන්න ඕනේ. අපේ ඉතිහාසයේ මුතුන්මිත්තෝ කවදාවත් මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩනැඟුවේ නැහැ. හැමදෙනාම සිදු කළේ මධ්‍ය කඳුකරය ආරක්ෂා කරලා එයින් ලැබෙන වතුර තැන්නෙදි හරස් කරලා ජලාශ හැදීමයි. මිණිපෙ ඇළ හැදුණේ එහෙමයි. එකල මධ්‍යම කඳුකරයේ තමයි අලි ගහනය වැඩියෙන් තිබුණේ.

අපේ පරිසර පද්ධතිය තුළ කොක්කු රෑන්, සමනල රෑන් අද දකින්න නැහැ. මිනිසා සිදු කළ ව්‍යසනයේ ප්‍රතිඵල  අපට පෙනෙන්නට තිබෙනවා. සමනලුන් පෙනෙන්න නැති දේශයක අද කුඩා ළමුන් හැදෙන්නේ. එම නිසා සමනලුන් නැවත පැමිණෙන පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳව වෙනස් සංකල්ප තිබෙන්න පුළුවන්. ආර්ථික ක්ෂේත්‍රයට අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන වෙන සංකල්ප තිබිය හැකියි. එහෙත් පරිසරය සම්බන්ධව තිබෙන්න පුළුවන් එකම එක සංකල්පයක් පමණයි. පරිසරය සුරක්ෂිත කර මීළඟ පරම්පරාවට භාර දීම වැඩිහිටි අපගේ වගකීමයි. මෙය ක්‍රියාත්මක කිරීමට පුරවැසියා  අප සමග සිටිනවා. ඒ නිසා අපේ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවස්ථාවක් තිබෙනවා.  

පරිසරය පිළිබඳ ප්‍රශ්නයේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැම කෙනාටම එක තැනකට පැමිණිය හැකියි. ජාතික ප්‍රශ්නය කවරක් වුණත් පරිසර ප්‍රශ්නයේදී එකට සිටිය හැකියි.  පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය තුළින් ජාතික ඒකාග්‍රතාව ඇති කළ හැකියි.   පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව  ජාතික පරිසරය ගොඩනැගීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අප කියන්නේ දලුලන්න ඉඩ දෙන්න කියා.

අපි මේ පසට යළි ජීවය ගෙනැවිත් දිය යුතුව තිබෙනවා. වියළුණු පසක්, ජල පද්ධතිය පතුලටම හිඳුණ පසක්, අපි හැල්මේ දුවලා, කොන්ක්‍රීට් ප්ලාස්ටික් වේගය මත විනාශයට පත් කරන රාජ්‍යයක් යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා අප හැම දෙනාටම වගකීමක් ඇති බව මා විශ්වාස කරනවා.

එහිදී අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් විය හැකියි. එහෙත් අද අපට හෘද සාක්ෂියේ දැවැන්තයකු ලෙස නැඟී සිටිය හැකියි. අපේ රට අප එකට එක් ව යළි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍යයක් බවට පත් කළ හැකියි. එදාට ලෝකය ශ්‍රී ලංකාව දෙස බලා මෙසේ පවසනු ඇති.

මෙන්න පස ආත්මයක් බවට පත් කර ගත් ජාතියක්. මෙන්න මිහිතලය සමඟ ප්‍රතිවිරෝධී නොවෙයි මිහිතලය සමඟ සාමය ඇති කර ගත් ජාතියක්. අද අපි ඉන්නේ මිහිතලය සමඟ ගැටුමක. මිහිතලය සමඟ සාමය ඇති කර ගත යුතු ජාතියක් ගොඩනැඟීම අපගේ සිහිනය බවට පත් කර ගනිමු. ඒ වෙනුවෙන් අප සැම එක් වෙමු.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය සහ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved