ඡායාරූප සටහන

සිරි දළදා වන්දනාවට සහභාගී වන බැතිමතුන්ගේ පහසුකම් සොයා බැලීමට ජනපති මහනුවරට (UPDATE)

Published

on

සිරි දළදා වන්දනාව සහ ඒ ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ මහනුවර නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙහිදී සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැපයීම, සනීපාරක්ෂාව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් කැඳවනු ලැබීය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යනමහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(පෙර පුවත 2025 අප්‍රේල් 25 පෙ.ව.9.44 )

ජනපති හදිසියේම මහනුවරට යයි

සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) රාත්‍රියේ හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටී.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ක්‍රියාත්මක කෙරුණි.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කෙරෙනු ඇත.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් මහනුවරට නොපැමිණෙන ලෙසය.

Trending

Exit mobile version