Connect with us

ඡායාරූප සටහන

ජපන් අධිරාජ්‍යවරයාගේ 65වන ජන්ම දිනය කොළඹදී සැමරේ (ඡායා)

Published

on

2025 පෙබරවාරි මස 23වන දිනට යෙදී ඇති ජපන් අධිරාජ්‍ය උතුමාණන්ගේ 65 වැනි ජන්ම දිනය සමරනු වස්, කොළඹ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද උත්සවයක් ඊයේ (18) තානාපති නිල නිවසේදී පැවැත්වුණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ගරු ආචාර්ය උපාලි පන්නිලගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ද එක්විය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – අකිඕ ඉසොමතා මහතා විසින් පැමිණ සිටි අමුත්තන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහභාගී වූ සෑම කෙනෙකුගේම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ එතුමා, තවදුරටත් සමෘද්ධිය සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් වේවායි ප්‍රාර්ථනා කළේය.

මෙම උත්සවය දිගුකාලීන මිත්‍ර සම්බන්ධතාවයන් පුනර්ජීවනය කළ අතර, නිල සංවර්ධන සහාය [Official Development Assistance (ODA)] ව්‍යාපෘති සහ  ශ්‍රී ලංකාව පදනම් කරගත් ජපන් සමාගම්වල ක්‍රියාකාරකම් ද ඇතුළුව දෙරට අතර පුළුල් සහයෝගීතාව ප්‍රදර්ශනය කිරීම සඳහා අගනා වේදිකාවක් ද සපයන ලදී. මෙහිදී ඉකෙබානා (ජපන් මල් සැකසීමේ කලාව), කරාතේ සංදර්ශණ සහ සකේ පානයන් රස විඳීම තුළින් ජපන් සංස්කෘතිය අත්විඳීමේ අවස්ථාව ද පැමිණ සිටි අමුත්තන් හට හිමි විය. 

ජපාන තානාපති කාර්යාලය දෙරට අතර ශක්තිමත් සහ මිත්‍රශීලී සබඳතා වර්ධනය කිරීමට කැපවී සිටින අතර, ඉදිරි කාලය තුළද තවදුරටත් සහයෝගීතාවය අපේක්ෂා කරයි.

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

දුටුවන් මුසපත් කරන සේද මාවතේ මහා කඩමණ්ඩිය (ඡායා / වීඩියෝ)

Published

on

By

ෂින්ජියැං ජාත්‍යන්තර ග්‍රෑන්ඩ් බසාර් (Xinjiang International Grand Bazaar) යනු ප්‍රමාණයෙන් ලොව විශාලතම කඩමණ්ඩියයි.

ඉස්ලාමීය සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පය, ජනවාර්ගික වාණිජ්‍යය, සංචාරක ව්‍යාපාරය සහ විනෝදාස්වාදය ඒකාබද්ධ කරන ස්ථානයක් ලෙස මේ කඩමණ්ඩිය ප්‍රකටය.

Urumqi හා ෂින්ජියැං හි වඩාත් ප්‍රසිද්ධ සන්ධිස්ථානවලින් එකක් වන මේ කඩමණ්ඩියේ ඉදිකිරීම් 2002 අගභාගයේදී අවසන් කළ බව පැවසෙන අතර එය මහජනතාව සඳහා විවෘත වී ඇත්තේ 2003 ජුනි 26 වැනිදාය.

Urumqi පුරාණ සේද මාවතේ පිහිටා ඇති නගරයක් වන අතර එහි  වසර දහස් ගණනක් තිස්සේ විශාල කඩමණ්ඩියක් පැවැති බව ලෝක ඉතිහාසය සාක්ෂිදරයි.

එහි ඉදිකිරීම් ප්‍රදේශය වර්ග මීටර් 100,000 කට ආසන්න වන අතර වෙළඳසැල් 3,000 කට වැඩි ප්‍රමාණයක් ඇති බව පැවසේ.

ග්‍රෑන්ඩ් බසාර්හි වාස්තු විද්‍යාත්මක ශෛලිය විශ්මයජනක සහ අතිශයින්ම ඉස්ලාමීය එකකි.

ග්‍රෑන්ඩ් බසාර් වෙත පැමිණීම මධ්‍යම ආසියාවේ වෙළඳපොළක් හරහා ඇවිදීම හා සමාන බැව් සංචාරකයන්ගේ මතය වේ.

ග්‍රෑන්ඩ් බසාර් වෙත ඇතුළු වන්නෙකුට, චතුරශ්‍රයේ මධ්‍යයේ මීටර් 100 ක් පමණ උස වටකුරු කුළුණක්  දැකගත හැකි වේ.

එය ග්‍රෑන්ඩ් බසාර් හි වඩාත් ප්‍රසිද්ධ ආකර්ෂණය වන අතර එය සේද මාවතේ දර්ශන කුළුණ ලෙස නම් කර ඇත.

එම කුළුණේ සෑම මහලකම සේද මාවතේ ඓතිහාසික කතාව සිතුවම් කර තිබේ.

කුළුණ මුදුනේදී, උරුම්කි නගරයේ පරිදර්ශක දසුනක් දැකගැනීම උගහට නොවේ.

චතුරස්‍රයේ දෙපසම උයිගර් විලාසිතාවේ පදික වීදි දැක ගැනීමට හැකිවන අතර රසවත් ෂින්ජියැං පලතුරු වර්ග, විවිධ කජු වර්ග මෙන්ම වියළි පළතුරු වෙළෙන්දන්ගෙන් ද පිරී තිබේ.

සමහර ජනවාර්ගික සංගීත භාණ්ඩ, අත්කම් භාණ්ඩ සහ පින්තාරු කරන ලද රබන් ආදිය ද  මිලදී ගැනීමට මෙහිදී අවස්ථාව උදාවේ.

මේ කඩමණ්ඩියේ වැඩි ඉල්ලුමක් ඇත්තේ කාපට්, සේද හා අත්කම් වලටය.

ඒ සින්ජියැං කාපට් ඒවායේ කලාත්මක සුන්දරත්වය සහ ශිල්පීය හැකියාව ප්‍රකට කර ඇති නිසාය.

එසේම ලොම් වලින් සාදන ලද ඒවායේ දීප්තිමත් වර්ණ සහ මෝස්තර උයිගර් ජනතාව පිළිබිඹු කරයි.

උයිගර් ජනතාව විසින් පැළඳ සිටින දේශීය රෙදිපිළි අතර “ඇට්ලස් සිල්ක්” එහි දීප්තිමත් වර්ණ සඳහා ප්‍රසිද්ධය.

මෙම සේද රෙදි ඉතා මෘදු වන අතර දේශීය ජනතාව ඔවුන්ගේ ඇඳුම් සඳහා මෙන්ම ඔවුන්ගේ නිවාසයන්හි අභ්‍යන්තර අලංකරණයක් ලෙසද ඒවා භාවිතා කරයි.

උයිගර් ජනවාර්ගික සුළුතර කණ්ඩායමට අද්විතීය සංස්කෘතියක් ඇති අතර ඔවුන්ගේ අත්කම් චීනයේ වෙනත් තැන්වල දක්නට නොලැබෙන වෙනස් ඒවාය.

ඔවුන්ගේ ගෙතූ ඇඳුම්, එම්බ්‍රොයිඩර් සහ ජේඩ් කැටයම් නිර්මාණ මනස්කාන්ත සිත් ගන්නා සුළු ඒවාය.

දේශීය උයිගර්වරු සාප්පු ඉදිරිපිට ඔවුන්ගේ ජන සංගීතය වයන සංගීත කණ්ඩායම් මෙන්ම නර්තනයේ යෙදෙන ලලනාවන්ද එහි සුලබ දසුනකි.

නාන් කෞතුකාගාරය මෙම කඩමණ්ඩියේ තවත් ප්‍රධාන ආකර්ෂණීය තැනකි.

ෂින්ජියැං හි නාන් සඳහා දිගු ඉතිහාසයක් ඇති අතර එය ෂින්ජියැං හි වාර්ගික සුළුතරයන්ගේ ප්‍රධාන ආහාරයයි.

ග්‍රෑරෑන්ඩ් බසාර් හි නාන් කෞතුකාගාරය ෂින්ජියැං  පුරා සිටින ජනයා ආහාරයට ගන්නා නාන් වර්ග 100 කට වඩා ප්‍රදර්ශනය කරයි.

සටහන හා ජායාරූප හා වීඩියෝව –
කැළුම් ශිවන්ත (ෂින්ජියැං – Urumqi සිට)

Continue Reading

ඡායාරූප සටහන

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කළ බිහිසුණු අනතුර  (ඡායා)

Published

on

By

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුර අද (18) උදෑසන සිදුව ඇති අතර, අනතුරින් පසුව කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගය පැයක පමණ කාලයක් වාහන ගමනාගමනයට අවහිර වී තිබුණි.

අනතුරින් තුවාල ලැබු 18 දෙනෙකු පමණ ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇහැළියගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

ඡායා – Accident 1st

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved