ඡායාරූප සටහන

ජයිශංකර් – රනිල් හමුවේ (ඡායා)

Published

on

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අද (20) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවකට එක් විය.
ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හා ජයිශංකර් මහතා එක්ව, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළ අතර, කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන දෙකක ඉදිකරන ලද නිවාස 24 බැගින් භාරදීම ද සිදුකර තිබුණි.

තවද, ඩොලර් මිලියන 6 ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) නිල වශයෙන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා හා ජයිශංකර් මහතා ඊට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කළේය.

මෙම සම්බන්ධිකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

මේ හමුව පිළිබඳ සිය X ගිණුමේ සටහනක් තබමින් ජයිශංකර් මහතා පවසා ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතවරයා හමුවීම ගෞරවයක් වූ බවත් තමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගේ උණසුම් සුභාශිංසන පිරිනැමූ බවත්ය.

වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ විශේෂයෙන්ම විදුලිබලය, බලශක්තිය, සම්බන්ධකතාවය, වරාය යටිතල පහසුකම්, ගුවන් සේවා, ඩිජිටල්, සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාවය, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි ඉන්දු – ලංකා සහයෝගීතාවයේ ඉදිරි ගමන් මඟ සාකච්ඡා කළ බවත්, දෙරට අතර සාම්ප්‍රදායිකව පවතින සමීප සහ මිත්‍රශීලී සබඳතාවල ශක්තිමත් වර්ධනය සඳහා කටයුතු කිරීමට කැප වී සිටින බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

(ඡායා : ජයිශංකර් මහතාගේ X ගිණුමෙන්)

Trending

Exit mobile version