ඡායාරූප සටහන

මෙතෙක් පැවති විශාලතම ජාත්‍යන්තර ගීතා මහෝත්සවය කොළඹ දී (ඡායා)

Published

on

2024 මාර්තු 01 – 04දා දක්වා කොළඹ දී පැවති සිව්දින ජාත්‍යන්තර ගීතා මහෝත්සවය ශ්‍රීමත් භගවද් ගීතාවේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පිරිනැමීමත් සමඟ සමාප්තියට පත් විය.

පස් වන වරට පැවති ජාත්‍යන්තර ගීතා මහෝත්සවය ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරට වන අතර එය ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත රජයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ආගමික සහ සමාජ සංවිධාන 30ක පමණ සහයෝගයෙන් සංවිධානය කරන ලදී. 

මෙම උත්සවයට සමගාමීව පැවති විශේෂ වැඩසටහන් අතර 2024 මාර්තු 03 වන දින නෙළුම් පොකුණ පරිශ්‍රයේ සිට කොළඹ, විහාර මහා දේවි උද්‍යානය දක්වා සද්භාවනා යාත්‍රාවක් පැවති අතර ඒ සඳහා දේශීය නර්තන ශිල්පීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූහ. 

ISKCON, රාමක්‍රිෂ්ණා මිෂන් සහ මයුරපති ශ්‍රී භද්‍රකාලි කෝවිල විසින් විශේෂ යාත්‍රා ද ඒ සඳහා එක් කර තිබිණ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ඉන්දීය නියෝජිතයන් සමඟ යාත්‍රාව නැරඹීමට එක් වූහ. 

 දෙවන දිනයේ දී භගවත් ගීතාව පිළිබඳ ජාත්‍යන්තර කතිකාවක් පැවති අතර එයට අමතරව “ගීතා – සාමයේ, සහෝදරත්වයේ සහ සමඟියේ සලකුණක්” යන තේමාව යටතේ විද්වතුන් සහභාගී වූ විවිධ සැසි රැසක් පැවැත්විණ. ජාත්‍යන්තර ගීතා කතිකාව සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ස්වාමි ගුරුශරානන්ද් ජි මහරාජ්, ගීතා මනිෂි ස්වාමි ගයානන්ද් ජි මහරාජ්, සාමාජික ලේකම් KDB Sh. විකාස් ගුප්තා සහ මහාචාර්ය අසංග තිලකරත්න යන මහත්වරුන්ගේ අදහස් ද ඇතුළත් විය. ගීතාවේ පණිවිඩයේ විශ්වීය සහ අකාලික ස්වභාවය මෙම සාකච්ඡාවන් හි පොදු කාරණාව විය. 

ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර ගීතා මහෝත්සවය මෙතෙක් පැවති විශාලතම ජාත්‍යන්තර ගීතා මහෝත්සවයයි. 

පෙර පැවති ජාත්‍යන්තර ගීතා මහෝත්සව හතර ඔස්ට්‍රේලියාවේ (2023), කැනඩාවේ (2022), එක්සත් ජනපදයේ (2019) සහ මොරිෂස් රාජ්‍යයේ (2019) පැවැත්විණ. කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය 

1989 වසරේ සිට කුරුක්ෂේත්‍ර නගරයේදී ගීතා මහෝත්සව සංවිධානය කරන අතර මහාභාරතයේ කොටසක් ලෙස ක්‍රිෂ්ණා දෙවියන් විසින් අර්ජුනට “භගවද් ගීතාව” දේශනා කරන ලද භූමිය ලෙස විශ්වාස කෙරෙන්නේ කුරුක්ෂේත්‍ර නගරයයි. 

Trending

Exit mobile version