ඡායාරූප සටහන

ලංකාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයකට මුලපුරයි (ඡායා)

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය හා එක්ව ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පිළිබඳව සංවිධානය කළ සමුළුවක් ඊයේ (26) කොළඹ දී පැවැත්විණ. 

සැසි තුනකින් සහ හමු කිහිපයකින් සමන්විත වූ එම සමුළුව මගින් සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම, ප්‍රජාවන් බලගැන්වීම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයක් සිදු කිරීම පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කෙරිණි.

සමුළුවේ මෙම සැසි තුන සඳහා ආරම්භක සැසියක් ද ඇතුළත් වූ අතර එහි ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙම සමුළුව ඉතා කාලීන බව ඒ මහතා සඳහන් ක‍ළේය. 

ශ්‍රී ලංකා ආර්ථිකය ඩිජිටල්කරණය සඳහා DPI ප්‍රධානතම සබලකාරකයක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සාර්ථක ක්‍රියාමාර්ගයන් දේශීය වශයෙන් ක්‍රියාවට නංවමින් වර්ධනය වේගවත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම ක්ෂේත්‍රය තුළ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය. 

පිළිගැනීමේ කතාව සිදු කරමින් මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඉන්දියාවේ ඩිජිටල් පරිවර්තනය සහ DPI සහ India Stack හි වැදගත්කම අවධාරණය කළ අතර ඉන්දියාවේ DPI මධ්‍යස්ථානයේ සම සභාපති ආචාර්ය ප්‍රමෝද් වර්මා මහතා ද සිය ඉදිරිපත් කිරීම අතරතුර දී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

සමුළුවේ පළමු සැසිය Accelerating Digital Sri Lanka යන තේමාව යටතේ ද දෙවන සැසිය  Unlocking the Digital Stack යන තේමාව යට‍තේ ද පැවති අතර එම සැසි ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ විද්වතුන් සහභාගී වූ සාකච්ඡාවන්ගෙන් සමන්විත විය. පළමු සැසිය ශ්‍රී ලංකාව තුළ DPI භාවිතා කිරීම සඳහා මාර්ග සිතියම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සියළු අංශවල ඊ-පාලනය වේගවත් වීම පිළිබඳව අවධානය යොමු කරන ලදී. පළමු සැසියේ ආරම්භක දේශනය සිදු කරන ලද්දේ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසිනි. දෙවන සැසිය පදනම් DPI වලින් ඔබ්බට ගිය අතර ආරම්භක සමාගම් ක්ෂේත්‍රයේ ධනාත්මක බාහිරතා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් මැරින්ග් තාක්ෂණය, වෙළඳපොළ සහ පාලනය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම සැසිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී.

සමුළුව ඉන්දියවෙන් පැමිණි විද්වතුන් හා ශ්‍රී ලංකාවේ අදාළ පාර්ශවකරුවන් සමඟ පැවති හමු සහ අර්ථදායි සාකච්ඡා රැසකින් ද සමන්විත විය. ඩිජිටල් ඉන්දියා සහ ස්ටාට්අප් ඉන්දියා වැඩසටහන් සම්බන්ධයෙන් කටයුතු කරන ඉන්දීය රජයේ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා රජයේ කාර්ය කණ්ඩායම් හය මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාව ද මෙම වැඩසටහනේ වැදගත් අංගයක් විය.

සමුළුවට සමගාමීව ආරම්භක සමාගම් සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ අනාගතයට යොමු වූ සබඳතා ද ස්ථාපනය කරන ලදී. මාර්තු 26 වන දින සන්ධ්‍යා‍වේදී, ස්ටාට්අප් ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආරම්භක සමාගම් සඳහා ධාරිතා සංවර්ධන වැඩමුළුවක් පැවැත්වූ අතර ඒ සඳහා ව්‍යාපාරික අදහස් ඉදිරිපත් කිරීම සහ ඵලදායි අලෙවිකරණය පිළිබඳ ප්‍රවීණයන්ගේ සැසි ඇතුළත් විය. IIT චෙන්නායි ඉන්කියුබේටර් “ප්‍රවර්තක්” හි ප්‍රධානීතුමා ශ්‍රී ලංකාවේ ස්ටාට්අප් ඉන්කියුබේටර් ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීය. NASSCOM හි සභාපතිතුමා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම සමුළුව 2023 ජූලි මාසයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය අතරතුර එතුමා සහ ඉන්දීය අග්‍රාමාත්‍යතුමා විසින් ඩිජිටල් ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍රවල සම්බන්ධකතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා එකඟ වන ලද දැක්ම ප්‍රකාශය ක්‍රියාවට නැංවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මාලාවක තවත් පියවරකි. ශ්‍රී ලංකා ඒකීය අනන්‍යතා (SL-UDI) ව්‍යාපෘතිය ස්ථාපනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබා දෙන ප්‍රදානය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය උදෙසා DPI විසින් සවිබල ගැන්වූ ප්‍රධානතම පදනමකි. 

ඊයේ පැවති විවිධ නියැළීම් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවයන්ට අනුව සහ ශ්‍රී ලංකාවේ ජනතාවට පුරවැසි කේන්ද්‍රීය සේවාවන් කාර්යක්ෂමව ලබා දීම සඳහා ඉන්දියාවේ DPI ප්‍රයෝජනයට ගැනීමට පවතින සුවිසල් විභවතාවය අවධාරණය කළේය.

Trending

Exit mobile version