Connect with us

ඡායාරූප සටහන

ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් මෙවර අයවැයෙන් මූලික පියවර  තැබුවා

Published

on

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති “2025 පශ්චාත්  අයවැය  කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 )  සංවාදයට එක්වෙමිනි .

ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත්  වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියේය.

බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැගීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමත් ශ්‍රී ලංකාවට ඉන් මිදීමට  දශකයට වඩා අඩු කාලයක් ගත කාලයක් ගත වේ යැයි පුරෝකථනය කළ හැකි බවත් මෙහිදී ජනපතිවරයා පැවසීය.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1%ක් දක්වා වර්ධනය කිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙන බවත් ප්‍රමුඛතාවන් හඳුනාගෙන මුදල් වැය කිරීම  රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .

ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකය ගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කර ගැනීමටත් මෙවර අයවැය මගින් අවධානය යොමු කර ඇති අතර ඉන් පුරවැසියාට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කර ගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර ඒ අනුව සුළු හා  මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ගොඩනැගීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

කර්මාන්තයට සහාය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම තුළින් පාරිභෝගිකයාට සහන සැලසීම රජයේ ඉලක්කය බවද කියා සිටියේය.

ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැගීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති බවද එමගින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත්  ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒක රේඛීය අධ්‍යාපනය වෙනුවට බහු රේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර රාජ්‍ය සේවාව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. එම නිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වේ.

දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වරාය කේන්ද්‍ර  කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද  මෙවර අයවැය  මගින් අවධානය යොමු කර ඇත .

සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර  අනුරාධපුරය, යාපහුව, යාපනය වැනි  නගර ප්‍රවර්ධනය කිරීමටද  සැලසුම් කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද  ජනාධිපතිවරයා  වැඩිදුරටත් සඳහන් කළේය .

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ මහත්වරු ඇතුළු විද්වත් හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

ලෝක බැංකු සභාපති – ජනපති හමු වෙයි (ඡායා)

Published

on

By

මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා  (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ වසර 20කට පමණ පසුව වීමද විශේෂත්වයකි. 

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන අරමුණු ජය ගැනීමට ලෝක බැංකු  සමූහයේ සහාය ලබා දිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. 

ඩිජිටල්කරණය, සංචාරක කර්මාන්තය, කෘෂි කර්මාන්තය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රය ඇතුළු කෙටිකාලීව ප්‍රතිලාභ ලබා ගත හැකි ක්ෂේත්‍ර හඳුනා ගනිමින් එහි ප්‍රවර්ධනයට කටයුතු කිරීම මෙන්ම උතුරු නැගෙනහිර සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

නව ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමට මේ වන විට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර සහ ඒ වෙනුවෙන් වූ රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. 

ලෝක බැංකු සමූහයේ විශේෂ උපදේශක ට්‍රෙවර් කින්කේඩ්(Trevor Kincaid), ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් (David Sislen), ජාත්‍යන්තර මූල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඉමාද් ෆැකවුරි (Imad Fakhoury),  ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා  නේවාසික නියෝජිත ගිවෝර්ග් සාර්කස්ජාන් (Gevorg Sargsyan)  යන මහත්වරුද මීට එක්ව සිටියහ. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කම්කරු අමාත්‍ය  සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සුරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

ජනපති, අගමැති, විපක්ෂනායක හා පක්ෂනායකයින් අද ඡන්දය ප්‍රකාශ කල අයුරු

Published

on

By

2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය .

සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ රට තුළ ඇති කළ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදීත් ජනතාව අපේක්ෂා කරන බව කියා සිටියේය.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සිය ඡන්දය ප්‍රකාශ කලේ කෝට්ටේ, මිරිහාන සමෘද්ධි ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කලේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර තිබුණේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සිය ඡන්දය භාවිතා කර තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

සර්වජන බලය පක්ෂ නායක දිලිත් ජයවීර මහතා පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කර ඇත්තේ මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ය.

 මහ නගර සභා 28ක් නගර සභා 36ක් ඇතුළු පළාත් පාලන ආයතන 336කට නියෝජිතයන් අසන්න වශයෙන් 8000කට වැඩි සංඛ්‍යාවක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී තෝරාගැනීමට නියමිත ය.

Continue Reading

ඡායාරූප සටහන

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුම් 04ක්

Published

on

By

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.

වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුම් හා එකඟතා  ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත. 

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම් මඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් දෙරටට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved