ඡායාරූප සටහන

සුබ ආරංචියෙන් පසු ජනපතිගේ නුවර ගමන (ඡායා)

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාළිගාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් ඉදිරියේ ආගමික වතාවත්වල නිරත වු ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

කලාශිල්පී අතුල හේරත් මහතා විසින් කෘතීම බුද්ධි තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර තිබු රජෙකුගේ හා බිසවකගේ පිළිරූ ද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය.

මේ අතර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පුද බිම වෙත පැමිණ සිටී ජනතාවගේ ද තොරතුරු විමසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ  සුහද කථා බහක නිරත විය.
අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

ඊයේ සිදු කළ විශේෂ ප්‍රකාශයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ නා හිමිවරුන් බැහැ දුටු පළමු අවස්ථාව මෙය වන අතර මහනුවර සුවිසල් නගර සංවර්ධන සැලැස්ම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහ නා හිමිවරුන් වෙත පිළිගැන්වීය.

උද්ඝෝෂණය කරන පිරිසගේ ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දීමට කටයුතු කරන ලෙස මල්වතු මහ නා හිමියන් එහිදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ වැටුප් විෂමතාවක් සිදු නොවන අයුරින් රාජ්‍ය නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා ලබන වසරේ සිට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බවයි.  

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා කමිටුවක්ද පත්කර ඇති බව සඳහන් කළේය.

අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගනිමින් උන්වහන්සේ සමඟ ද කෙටි පිළිසඳරක නිරත විය.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර, කටුකැලේ සෙල්වම් විනයාගර් හින්දු කෝවිල වෙත පැමිණි අතර එස්. ක්‍රිෂ්නමුර්ති පූජකතුමා එහිදී ආගමික වතාවත් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

ඉන් අනතුරුව මීරම් මක්කම් මුස්ලිම් දෙවස්ථානය වෙත ද පැමිණි ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් අතර ඕ.එල්.එම්. තාසීම් මවුලවීතුමා එහිදී විශේෂ යාඥා මෙහෙයක් සිදු කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, මහින්දාන්නද අලුත්ගමගේ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Trending

Exit mobile version