Connect with us

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සටහන

පැරණි මොන්ගෝලියානු සොල්දාදුවන් තවමත් ඉන්න බොග්ඩාල් (වීඩියො/ඡායා)

Published

on

By

චීනයේ ෂින්ජියැං හි විශාලතම කඳුකර විල වන සයිරම් විලෙන් (Sayram Lake) කිලෝමීටර 60 ක් පමණ දුරින් වන බොග්ඩාල් ගම්මානය (Bogdal village) විශ්මයජනක දසුන් සහ පොහොසත් ජෛව විවිධත්වය නිසා මේවන විට ප්‍රසිද්ධයට පත්ව තිබේ.

ෂින්ජියැං උයිගුර් ස්වයාන්තයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන බෝර්තාලා මොන්ගෝලි හි පිහිටා ඇති බොග්ඩාල් ගම්මානයේ මොන්ගෝලියානු, කසැක්, උයිගුර් සහ හන් ජනවාර්ගික කණ්ඩායම් සහජීවනයෙන් වෙසෙන ගමක් ලෙස ප්‍රචලිතය.

එහි යන විදේශිකයන්ව අඩි දහයක් පමණ විශාල ලී ගේට්ටුවක් ඉදිරියේ ගම්වැසියන්ට ආවේනික ඇඳුම් ආයිතම් පැළඳ ගීත ගයමින් සාඨක පලන්දා, සැරවතුර කෝප්පයක් දී පිළිගැනීම ඔවුන්ගේ ආගන්තුක සත්කාරයේ කොටසක් වන අතරම එය විදේශීය ආකර්ශනයට හේතුවී තිබේ.

ඉන් සුළු වේලාවකට පසුව ගම්මානයට ඇතුළු වන සුවිශාල ගේට්ටුව විවෘත වන අතර ගාම්භීර පසුබිම් සංගීතයට, ඓතිහාසික ඇඳුම් ඇඳගත් සොල්දාදුවන් පිරිසක් අශ්වයන් පිට සෙමින් ළඟා වෙමින්, ගමේ උරුමය අවදි කරන දසුන් දුටුවන්ට එහි අතීත විභූතිය විදහා දක්වයි.

චිං රාජවංශයේ (1644-1911) චියැන්ලොං අධිරාජ්‍යයාගේ පාලන සමයේදී, මොන්ගෝලියානු සොල්දාදුවන් සහ ඔවුන්ගේ පවුල් දහස් ගණනකට දේශසීමාවේ ආරක්ෂක කටයුතු සඳහා බටහිර දෙසට ෂින්ජියැං වෙත සංක්‍රමණය වන ලෙස නියෝග කර තිබේ.

එම සොල්දාදුවන් හා පවුල්වල අය දුෂ්කරතා විඳදරාගෙන දිගු හා දුෂ්කර ගමනකින් පසුව ඔවුන්ගේ ගමනාන්තය වන බොග්ඩාල් ගම්මානය වෙත පැමිණි බව පැවසේ.

වර්තමානයේ, ඔවුන්ගේ පරම්පරාව බොග්ඩාල්හි ජනගහනයෙන් බහුතරය වේ.

බොග්ඩාල් හි ප්‍රජාව මුලින් දේවගැති ප්‍රජාවක් ලෙස සැලැකෙන අතර වර්තමානයේ බොග්ඩාල්හි පදිංචිකරුවන්, සාම්ප්‍රදායික ඇඳුම් වලින් සැරසී, ඔවුන්ගේ ගමට පැමිණෙන අමුත්තන් ඔවුන්ගේ කැපී පෙනෙන ඉතිහාසය පසක් කරන දර්ශනයක් මතුකරමින් පිළිගනී.

එහි යන විදේශිකයන්ට එහි ඇති ප්‍රධාන ආකර්ෂණයන් අතරට ජනවාර්ගික සංස්කෘතිය අත්විඳීම සහ මොන්ගෝලියානු හෝ කසාක් විලාසිතාවේ දැවයෙන් හෝ මැටියෙන් තැනූ පැල වල සිට රසවත් ආහාර රස විඳීමට අවස්ථාව උදාවේ.

එසේම එහි සංචාරයේ යෙදෙන්නකුට දුනු ශිල්පය පුහුණු වීමට සහ දිවා කාලයේ ගමේ දොරටු විවෘත කිරීමේ උත්සවයක් නැරඹීමට, ගිනි මැල සාදයක් භුක්ති විඳීමට සහ රාත්‍රියේ සංස්කෘතික රංගනයන් භුක්ති විඳීමට හැකි බව පැවසේ.

බොග්ඩාල්හි නව මුහුණුවර 2021 දී ආරම්භ වූ චීන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් ලෙස ලැබුණු එකකි.

වර්තමානයේ එහි මලාපවහන පද්ධති, මාර්ග සහ බිත්ති ඇතුළුව යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර ඇති අතර, සියල්ල රජයේ අරමුදල්වලින් ප්‍රතිසංස්කරණය කර තිබීම ද විශේෂිතය.

ගම් කමිටුව නිෂ්ක්‍රීය නිවාස නවාතැන් බවට පත් කිරීමට පදිංචිකරුවන් දිරිමත් කරන අතර සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රියාකාරකම් සංවිධානය කරනු ලබයි.

ඔවුන් විසින් අමුත්තන් සඳහා පවත්වනු ලබන සාම්ප්‍රදායික මොන්ගෝලියානු විවාහ උත්සවය අමුත්න් අතර ජනප්‍රිය අංගයක් වී තිබේ.

එය නාට්‍යානුසාරයෙන් මොන්ගෝලියානු මනාලයා විසින් මානාලියගේ නිවසින් මනාලිය ගැන විමසීමේ සිට ඇය කැන්දන්යාම මෙන්ම නැවත පැමිණීම ද රඟදක්වයි.

සටහන / ඡායා හා වීඩියෝ – කැළුම් ශිවන්ත

Continue Reading

ඡායාරූප සටහන

කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

Published

on

By

බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ කරමින් අයහපත් වටිනාකම් එක් කළ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවත් එහිදී මෙරට මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.

භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.

එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.

එසේම, ඇතැම් දේශපාලන කණ්ඩායම් බලය යළි අත්පත් කර ගැනීමේ මෙවලමක් ලෙස ජාතිවාදය උපයෝගි කර ගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහි ගොදුරු බවට පත් වුයේ එම දේශපාලකයින් නොව උතුරේත්, දකුණේත් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බවද ප්‍රකාශ කළේය.

එබැවින්, ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජාතික සමගිය ගොඩනැඟීමට වෙහෙස දැරිය යුතු බවත්, සියලුදෙනාට ප්‍රජාතන්ත්‍රවාදීව සහ නිදහසේ කටයුතු කිරීමට හැකියාව තිබුණද, යළි කිසිදු අවස්ථාවක ජාතිවාදයට හිස එසවීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම්  නීති ශක්තිමත් කර හෝ ජාතිවාදය පරාජය කරන බවත්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනා එකට ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම තම රජයේ අරමුණ බවත් පැවසීය.

එමෙන්ම ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ කතිකාවතක් ඇති කිරිමේ සාකච්ඡාව පිළිබඳවද අදහස් දැක් වූ ජනාධිපතිවරයා, ඒ පිළිබඳ මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එම කතිකාවත ඉදිරියට ගෙන යාමට රජයට හැකි බවද සඳහන් කළේය.

එතෙක් විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත භාර දී තිබෙන බවත්, දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Continue Reading

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved