කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තොරාඇතත් තවමත් එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දී නොමැත.
මේ හේතුවෙන් එහි පුහුණු කටයුතු ඇනහිට ඇතැයි වාර්තා වේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය මෙතෙක් පමා වී ඇත්තේ නොතේරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ දෙමව්පියන් පිරිසක් දිගින් දිගටම මෙම තෝරා ගැනීම් වැරදි බවට ක්‍රීඩා ඇමතිවරයාට පෙත්සම් ඉදිරිපත් කිරීම නිසාය.
මේ පෙත්සම් කරුවන්ගෙන් වැඩි දෙනෙකු තරගාවලිය සඳහා තෝරාගෙන ඇති පුහුණුකාරිනිය පුහුණු කරන කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ක්රීඩ්කාවන්ගේ දෙමව්පියන් වීම විශේෂත්වයකි.
අන්තර් පාසල් නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ තමන් පුහුණුකළ පාසල බැවින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටද තම පාසලේ ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් ඇතුළත් විය යුතු බව කියමින් මෙම පුහුණුකාරිනිය තේරීම් කමිටුව සමග ඝට්ටනයකට යාමත් ඇය විසින් අදාල නොතේරුණු ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්ද උසි ගැන්වීමත් මේ සඳහා මාධ්‍යකරුවන් කිහිප දෙනකු යොදා ගැනීමත් මේ අවුලට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
මෙම මාධ්‍යකරුවන් පිරිස පසුගියදා පෙත්සම්කාර දෙමව්පියන් හතර පස් දෙනකු ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටට ගෙන්වා උද්ඝෝෂණයක් පරිදි මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළත් එයට කිසිදු ප්‍රධාන මාධ්‍යයකින් ප්‍රසිද්ධියක් ලබා නොදුන් අතර නැවත වරක් තේරීම් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කළහොත් නෙට්බෝල් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තාවේ.
එසේ වුවහොත් නැවත අලුත් තේරීම් කමිටුවක් පත් කර අලුතින් තෝරා ගැනීම් කරද්දී තරගාවලිය අවසන් වී තිබෙනු ඇතැයි නෙට්බෝල් ප්‍රවීණයෝ පවසති.