Connect with us

ක්‍රීඩා

චමරි එක්ක ක්‍රිකට් පිල අද රෑට දිවයිනට 

Published

on

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රිදී පදක්කම දිනාගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (28) රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා පදක්කමක් දිනාගත්තේ වසර 9කට පසුවය.

මේ ක්‍රීඩා උලෙළේදී ක්‍රිකට් ඉසව්වෙන් හිමි වූ තෙවැනි පදක්කම මෙයයි.

මීට පෙර 2014 වසරේ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කමත්, කාන්තා කණ්ඩායම ලෝකඩ පදක්කමත් දිනා ගෙන තිබිණි.

මේ අතර ඊයේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරග ආරම්භ කරමින් මොංගෝලියාවට එරෙහිව පැවති පළමු තරගයේදී ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට නේපාල කණ්ඩායම සමත් විය.

විස්සයි 20 ආකෘතිය යටතේ සෙජෑන්ග්හි තාක්ෂණ විශ්වවිද්‍යාල ක්‍රිකට් පිටියේ පැවති මේ තරගයේදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු (314/3), වේගවත්ම ශතකය සහ අර්ධ ශතකය නේපාල පිතිකරුවන් වාර්තා කළහ.

ඊයේ තරගයේදී නේපාලය ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 314ක් රැස් කළ අතර, මින් පෙර එම වාර්තාවට හිමිකම් කී ඇෆ්ගනිස්තානය 2019දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 278ක් රැස් කර තිබිණි. 

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි කුෂාල් මල්ලා විස්සයි20 පිටියේ වේගවත්ම ශතකය තමන් සතු කර ගත්තේ පන්දු 34කදීය. 

ඒ සමඟ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් සහ ඉන්දියාවේ යුවරාජ් සිං පන්දු 35කින් තබා තිබූ වාර්තා මැකී ගියේය.

ඉනිම නිමා වන විට ඔහු පන්දු 50කින් නොදැවී ලකුණු 137ක් රැස් කර තිබුණේ හතරේ පහර 8ක් සහ හයේ පහර 12ක් සමඟිනි. 

යුවරාජ් සිං පන්දු 12කින් තබා තිබූ වාර්තාව මකා දැමීමට දීපෙන්ද්‍ර සිං අයිරී සමත් වූයේ පන්දු 9කින් ලකුණු 50ක් රැස් කරමිනි. 

නායක රෝහිත් පෝඩෙල් පන්දු 27කින් ලකුණු 61ක් රැස් කළ අතර, ඔහු කුෂාල් සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 193ක සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 63කිනි. 

එය වාර්තා අතරට එක් වූයේ විස්සයි20 තරගයක තෙවැනි කඩුල්ල සඳහා ගොඩනැඟුණු හොඳම සබඳතාව ලෙසිනි.

නේපාල කණ්ඩායම මේ ඉනිමේදී හයේ පහර 26ක් එල්ල කරමින් විස්සයි20 ඉනිමකදී වැඩිම හයේ පහර වාර්තාව ද සතු කර ගත්තේය. ඒ සමඟ ඇෆ්ගනිස්තානය ඉනිමකදී රැස් කර තිබූ හයේ පහර 22ක වාර්තාව බිඳ වැටිණි.

මේ තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොංගෝලියානු කණ්ඩායම පන්දුවාර 13.1කදී ලකුණු 41කට දැවී ගිය අතර, දවාසුරෙන් ජමියන්සුරෙන් ලකුණු 10ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. 

මේ අනුව නේපාලයට ලකුණු 273ක ජයක් හිමි වූ අතර, එය විස්සයි20 තරගයකදී කණ්ඩායමක් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක් විය.

මොංගෝලියානු ක්‍රීඩකයන් සියලු දෙනා මේ තරගයේදී ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් දිනා ගැනීම විශේෂත්වයකි.

ක්‍රීඩා

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේ හා ඉන්දියාවේදී

Published

on

By

මේ වසරේ ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන දින හා ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කර තිබේ.

13 වරටත් පැවැත්වෙන මෙම එක්දින ජාත්‍යන්තර තරගාවලියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා පාකිස්තානය යන රටවල් 08ක් එක්වේ.

සැප්තැම්බර් 30දා – නොවැම්බර් 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය, ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රීඩාංගන 05ක පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම ක්‍රීඩාංගන වන්නේ බෙංගාලූරූ හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, ගුහාවතී හි ACA ක්‍රීඩාංගනය, ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනය, විශාඛාපට්නම් හි ACA-VDCA ක්‍රීඩාංගනය හා කොළඔ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි.

සමාරම්භක තරගය සැප්තැම්බර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිත අතර, පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29දා ගුහාවතී හිදී හෝ කොළඹ දී පැවැත්වෙනු ඇත. දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිතය.

මෙහි අවසන් මහා තරගය නොවැම්බර් 02දා බෙංගාලූරූ හි දී හෝ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව පත්කරයි

Published

on

By

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

එම කමිටු නිලධාරීන් පහතින්

01. ශ්‍රියානි කුලවංශ – (සභාපති  – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර –  (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04.  කමල්  ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  –  ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා   – (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් –   (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම –   (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved