ක්‍රීඩා

අලුත් ක්‍රීඩා ඇමති SB; රොෂාන් පරණ විදිහටම වාර්මාර්ගයේ

Published

on

ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය හමාරවීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට අදාළ අංශ මූලික සාකච්ඡා පවත්වා ඇතැයි පැවසේ.

දැනට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූරය දරන රොෂාන් රණසිංහ මහතාගෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කොට එය එස්.බී. දිසානායක මහතාට පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි ද වාර්තා වේ.

එහෙත් ඔහුට අයත් වාරිමාර්ග අමාත්‍ය ධූරයෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි සඳහන්ය.

 අලුතෙන් ක්‍රීඩා අමාත්‍ය ධූරය සඳහා යෝජනා වී සිටින එස්.බී. දිසානායක මහතාද හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හටගත් වංචා දූෂණවලට එරෙහිව මැතිසබයට පැමිණිලි කළ අතර ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව යෝජනාවක්ද සම්මත කරගනු ලැබීය. 

ඒ සමඟ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අන්තර් පාලන කමිටුවක්ද පත් කරනු ලැබීය. එහෙත් අධිකරණ නියෝගයක් අනුව එම පාලන මණ්ඩලයට එරෙහිව අතුරු තහනමක් පැනවිණි. 

ඒ සමඟ මේ සිද්ධිය නීතිමය අර්බුදයක් බවට පත් විය. මෙම සිද්ධි දාමයත් සමඟ අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජනාධිපති කාර්යාල බලධරයන් අතර අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය. 

ඔහුගේ ක්‍රීඩා අමාත්‍ය ධූරය වෙනස් කෙරෙනු ඇත්තේ එම අර්බුදය මෝරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස බවද වාර්තා වෙයි.

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version