ක්‍රීඩා

ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටන අද

Published

on

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ එක්දින තරගාවලියේ පළමු තරගය අද (09) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දිවා – රාත්‍රී තරගයක් වන මෙය පස්වරු 2.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.

දෙපිල එක්දින තරගවලදී 12 වතාවක් මුණගැසී ඇති අතර, ශ්‍රී ලංකාව තරග 7ක් හා ඇෆ්ගනිස්තානය තරග 4ක් ජයගෙන තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. 

2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත්වූ අතර, එහිදී ඇෆ්ගනිස්තාන පිල සුවිශේෂී දක්ෂතා දක්වමින් ක්‍රීඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අමතක නොවනු ඇත.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති තරගවලදී ජයග්‍රහණ තුනක් සහ පරාජයන් දෙකක් ලබා ඇත. කෙසේ වෙතත්, ලෝක කුසලාන තරගාවලියේදී දෙරට අතර ඉන්දියාවේ පූනේහි අවසන් හමුවීමේදී ඇෆ්ගනිස්තානය කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කැළඹීමට ලක් වූහ.

ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මේ එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවා ඇත. එමෙන්ම අවසන් වරට පැවති සිම්බාබ්වේ එක්දින තරගාවලියේ සිටි නුවනිඳු ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයන් දෙදෙනාට ද මෙවර අවස්ථාව හිමි නොවේ.

පිතිකරුවන්ට උචිත පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලකුණු හඹාගොස් ජයග්‍රහණ ලබාගැනීමේ ප්‍රතිශතය 54% ඉක්මවා තිබීම හේතුවෙන් කාසියේ වාසිය ජයගන්නා නායකයා ලකුණු හඹා යෑමට තීරණය කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇත.

තරගය සම්බන්ධයෙන් ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් තමන් ඇෆ්ගනිස්ථානය අවතක්සේරු නොකරන බව ප්‍රකාශ කළේය.

Trending

Exit mobile version