Connect with us

ක්‍රීඩා

ක්‍රීඩා ඇමතිගේ ගැසැට්ටුවෙන් ක්‍රීඩා සංගම් කණපිට පෙරළෙයි!

Published

on

ජාතික ක්‍රීඩා සංගම්හි සභාපති ධුරය ඇතුළු ප්‍රධාන නිලතල දැරීමේ උපරිමය අවස්ථා දෙකකට සීමා කරමින්ද ඒවායේ විධායක කමිටු සාමාජිකත්වය දැරීමේ උපරිම වයස අවුරුදු 70කට සීමා කිරීමටද ද්විත්ව පුරවැසිභාවය දරන්නන්ට නිලතල දැරීමට නොහැකි වන පරිදිද නීති රීති පැනවීමට රජය තීරණය කර තිබේ.

මේ පිළිබඳ අතිවිශේෂ ගැසට් නිවේදනයට ඉකුත් 14 වැනිදා තමන් අත්සන් කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය.

එමෙන්ම කුමන තනතුරක් දැරූවද ජාතික හෝ ජාත්‍යන්තර සංගමයක් හෝ කමිටුවක් විසින් විනය හේතු මත හෝ වෙනත් වංචාවක් මත දඬුවමකට ලක් කරනු ලැබූ අයට සභාපති, ලේකම් වැනි තනතුරු දැරීම හෝ කමිටු සාමාජිකත්වයට පත් කර ගැනීමට සුදුසුකම් හිමි නොවන බවද ඇමැතිවරයා අවධාරණය කෙළේය.

එමෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන ඕනෑම අවස්ථාවක ඡන්ද හිමි සාමාජිකයින්ගේ 2/3ක බහුතර යෝජනාවකින් ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ධුරයෙන් ඉවත් කිරීමට හැකිවන බව පැවසූ ඇමැතිවරයා භාණ්ඩාගාරික ධුරය දැරීම පිණිස විශේෂිත ගණකාධිකාරී වෘත්තීය සුදුසුකම්ද අනිවාර්ය කර ඇතැයි හෙළි කළේය. 

ඉදිරියේදී ක්‍රීඩා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවත් මේ සියලු කරුණු ඇතුළත් පනත් කෙටුම්පතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය.

සම්පූරණ ගැසට්ටුව පහත දැක්වේ.

1973 අංක 25 දරනක්‍රීඩාපනත

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 වන වගන්තිය සමඟ කියවිය යුතු 41 වන වගන්තිය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග.

            රොෂාන්රණසිංහ (පා.ම.)

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

2022 දෙසැම්බර් මස 14 වැනි දින,

කොළඹ දී ය.

නියෝග

කලින් කල සංශෝධිත 2016.10.27 හා අංක 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග, ක්‍රීඩාවේ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හා ක්‍රීඩාවේ නියැලෙන්නන්ගේ අභිවෘද්ධිය, දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් පහත පරිදි තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

1) ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල II වන කොටසේ 5(1) නියෝගය එකී නියෝගයේ;

“ තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවකගෙන් සමන්විත වන කමිටුවක් තෝරා පත්කර ගත යුතු ය”  යන වචන වෙනුවට “තම ව්‍යවස්ථාවේ දක්වා ඇති නිලධරයන් සංඛ්‍යාවකගෙන් සමන්විත වන සහ ධුර කාලයේ උපරිම ය, වසර දෙකක් (02) ක් විය යුතු වන විධායක කමිටුවක් තෝරා පත්කර ගත යුතු ය” යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 

2) එකී නියෝගවල 5(2) නියෝගය ඉවත් කර, ඒ වෙනුවට පහත නියෝගය ආදේශ කරමින් එකී නියෝගය තව දුරටත් සංශෝධනය කරනු ලැබේ.

කමිටුවේ සෑම නිලධරයෙකුම නිලවරණය පවත්වන මහා සභා රැස්වීමේ දී තෝරා පත් කර ගනු ලැබිය යුතු ය;

කිසියම් නිලධරයෙකු;

(අ) ධුර කාල දෙකක් (වසර 04ක්) සභාපති ධූරය දරා ඇත්නම්, නැවත සභාපති ධූරයට තේරී පත්වීමට නුසුදුස්සකු විය යුතු ය. එසේ වුවද, තවත් වසර හතරක (04) කාලයක් කමිටු සාමාජිකත්වය දැරීමට එය බාධාවක් නොවිය යුතු ය.

 (ආ) ධුර කාල හතරක් (04)  (වසර අටක (08) ධුර කාලයක් ) ධුර දරා ඇත්නම්, නැවත තේරී පත්වීමට නුසුදුස්සකු විය යුතු අතර කමිටු සාමාජිකත්වය දැරීමට ද නුසුදුස්සකු විය යුතු ය.

එසේ වුවද, මෙම නියෝග බලාත්මක වන දින වන විට නිලවරණයෙන් තේරී පත්වී ඇති සභාපති ඇතුලු අනෙකුත් ධුරධාරීන් සම්බන්ධයෙන් ඔවුන් තේරී පත්ව ඇති ධූර කාලය අවසන් වන තෙක්, එකී ධූර දැරීමට මෙම නියෝගය බාධාවක් නොවිය යුතු ය.

(iii) කිසියම් කමිටු සමාජිකයෙකුට කමිටු සාමාජිකත්වය දැරිය හැකි උපරිම කාල සීමාව ධුර කාල 4ක් (වසර 08ක්) විය යුතු ය.

එසේ වුවද, කිසියම් නිලධාරියෙකු හෝ කමිටු සාමාජිකයෙකු  ක්‍රීඩා පනත හා ඒ යටතේ පත් කරන ලද යම් පිළිගත් කමිටුවක් විසින් පවත්වන ලද විධිමත් පරීක්ෂණයක් මගින් හෝ; අදාළ ජාත්‍යන්තර සංගමය හෝ ඊට අනුබද්ධ ජාත්‍යන්තර සංගමයක් විසින් හෝ විනය හේතු මත හෝ;

ඉවත් කරනු ලැබුවේ නම් හෝ දඬුවමකට ලක් කරනු ලැබුවේ නම් හෝ තහනමකට ලක් කරනු ලැබුවේ නම් එකී ඉවත් කිරීම, දඬුවමකට ලක් කිරීම හෝ තහනමට ලක් කරන ලද අයෙකුට එකී ධුරයට හෝ කමිටු සාමාජිකත්වයට නැවත තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වන්නේ ය.

(iv) සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ඕනෑම විධායක කමිටු සාමාජිකයකු, ක්‍රීඩා පනත, රෙගුලාසි, විධාන හා එකී ජාතික ක්‍රීඩා සංගමයේ/ සම්මේලනයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන අවස්ථාවක අදාළ සංගමයේ /සම්මේලනයේ ඡන්ද හිමි සාමාජිකයකු විසින් ඡන්ද හිමි සාමාජිකයින්ගේ සරල බහුතරයකින් ගෙනෙන යෝජනාවක් විශේෂ මහා සභාවක් කැඳවීමෙන් හෝ මහා සභා රැස්වීමකදී, සංගමයේ/ සම්මේලනයේ ඡන්ද හිමි සාමාජිකයින්ගේ 2/3ක බහුතරයෙන් සම්මත කර ගැනීමෙන්, අදාළ ධුර කාලය සම්පූර්ණ වීමට පෙර වුව ද ධුරයෙන් ඉවත් කිරීමට හැකිවන්නේ ය.

(v) ඕනෑම නිලධාරියෙකුගේ හෝ කමිටු සාමාජිකයකුගේ එකී ධූර කාලය දැරිය හැකි උපරිම වයස් සීමාව වයස අවුරුදු හැත්තෑව (70) දක්වා සීමා කරනු ලබන්නේ ය.

03)  එකී නියෝගවල 5 (1) වැනි නියෝගයේ, (iii) (අ), (iii) (ආ), (iii) (ඇ) සහ (iv) යන ජේද ඉවත් කර, ඒ වෙනුවට පහත ජේදය ආදේශ කිරීමෙන් එකී නියෝගය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

 (iii) (අ) A හා B ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් සඳහා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශීල්පීය ආයතනයේ සාමාජිකයෙකු හෝ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද සහතික ලත් වරලත් ගණකාධිකාරී හෝ ඊට ඉහළ සහතිකයක් ලබා ඇති හෝ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් නිකුත් කරන ලද බැංකුකරණ හා මූල්‍ය පිළිබඳ සහතිකයක් ලබා ඇති හෝ භාණ්ඩාගාරිකවරයකු ද මූල්‍ය කළමණාකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර තුනක පළපුරුද්දක් ඇති සහකාර භාණ්ඩාගාරිකවරයකු ද,

(ආ) C ශ්‍රේණියේ ජාතික ක්‍රීඩා සංගමයක් සඳහා 1988 අංක 30 දරන බැංකු පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලත්, බලපත්‍රලා‍භී වාණිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂ බැංකුවක හෝ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන යටතේ බලපත්‍රලත් මුදල් සමාගමක හෝ 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි වූ ලියාපදිංචි කරන ලද, කල්බදු මුල්‍යකරණ ආයතනයක හෝ 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන යටතේ සංස්ථාපිත සමාගමක ගිණුම් කළමණාකරුවකු හෝ ගිණුම් ලිපිකරුවකු ලෙස අවම වශයෙන් වසර තුනක පළපුරුද්ද ඇති භාණ්ඩාගාරවරයකු ද මූල්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර තුනක පළපුරුද්දක් ඇති සහකාර භාණ්ඩාගාරිකවරයකු ද,

4)  එකී නියෝගවල 5 (4) (ඕ) ඡේදය ඉවත් කර පහත ජේදය ආදේශ කිරීමෙන් එකී නියෝගය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

5 (4) (ඕ ) “ශ්‍රී  ලංකාවේ පුරවැසියකු නොවේ නම් හෝ පුරවැසියකු වීම අවසන් වුවහොත් සහ ද්විත්ව   පුරවැසියෙකු වන්නේ නම්”

5)  එකි නියෝගවල 5 (4) (ග) ජේදයට ඉක්බිතිව ම 5 (4) (ච) ජේදය ඇතුළත් කිරීමෙන් එකී නියෝගය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

5 (4) (ච) ක්‍රීඩා විෂය භාර අමාත්‍යාංශයේ සේවයේ නියුතු හෝ ක්‍රීඩා විෂයට අදාළ රාජකාරියක නියුතු රාජ්‍ය සේවකයකු වේ නම්, 

6) එකී නියෝගවල 5 (4) (බ) ඡේදයට ඉක්බිතිව ම පහත ඡේද ඇතුළත් කිරීමෙන් එකී නියෝගය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

5 (4) (ම) නාම යෝජනා භාර දීමට ආසන්න වසර තුන (03) ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම්, 

5 (4) (ය) මූල්‍ය හෝ වෙනත් ආධාර අවභාවිතයකට හෝ දූෂණයට හෝ අක්‍රමිකතාවකට හෝ ක්‍රීඩාවේ විනය හෝ සංගම් ව්‍යවස්ථාවේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් තහනමකට ලක්වන ක්‍රියාවකට හෝ වෙනත් නීත්‍යානුකූල නොවන කාරණයක් සම්බන්ධයෙන් ක්‍රීඩා විෂයභාර අමාත්‍යවරයා විසින් විධිමත් පරිදි පත් කරන ලද පරීක්ෂණ මණ්ඩලයකින්, විමර්ශන කමිටුවකින්, අභියාචනා උපදේශක මණ්ඩලයකින්, ක්‍රීඩා පිලිබඳ වැරදි වැලැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් හෝ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ හෝ නිර්දේශයකින් එකී චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස හෝ ජාතික ක්‍රීඩා සංගමයක / සම්මේලනයක / කමිටුවක නිල ධූරයක් දැරීමට නුසුදුස්සෙකු බවට නිර්දේශයක් ලබා ඇති තැනැත්තෙකු වන්නේ නම්,

එකී නියෝගවල 5 (5) නියෝගයට ඉක්බිතිවම පහත ඡේදය එකතු කිරීමෙන් එකී නියෝගය තව දුරටත් සංශෝධනය කරනු ලැබේ.

5 (5) (i) අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය යටතේ සමාජයට, ක්‍රීඩාවට සුවිශේෂී සේවයක් කළ හා රජයට සුවිශේෂී ආදායම් බදු ගෙවන පුද්ගලයෙකු ජාතික ක්‍රීඩා සංගමයක/ සම්මේලනයක නිලයක් දැරීමට සුදුස්සෙකු වන්නේ ය.

එකී නියෝගවල 5 (6) නියෝගය ඉවත් කර, ඒ වෙනුවට පහත නියෝගය ආදේශ කිරීමෙන් එකී නියෝගය  මෙයින් සංශෝධනය කරනු ලැබේ.

‍5 (6)

ජාතික ක්‍රීඩා සංගමයක, පළාත් ක්‍රීඩා සංගමයක, දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයක හෝ අනුබද්ධ ක්‍රීඩා සමාජයක සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප/නියෝජ්‍ය සභාපති, උප/නියෝජ්‍ය ලේකම්, උප/නියෝජ්‍ය භාණ්ඩාගාරික යන ධූරයක් දරන යම් තැනැත්තෙකු තම ජාතික ක්‍රීඩා සංගමයේ හෝ වෙනත් යම් ජාතික ක්‍රීඩා සංගමයක, පළාත් ක්‍රීඩා සංගමයක, දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයක ප්‍රාදේශිය ක්‍රීඩා සාමාජයක  හෝ අනුබද්ධ ක්‍රීඩා සමාජයක හෝ වෙනත් කිසිදු ජාතික ක්‍රීඩා සංගමයක කිසිදු ධූරයක් දැරීමට නුසුදුස්සකු වන්නේ ය. 

තවද ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල III වන කොටසේ 7 වන නියෝගයේ (xxvi)  ජේදයට ඉක්බිතිව ම පහත ඡේදය අලුතෙන් එකතු කිරීමෙන් එකී නියෝග තව දුරටත් සංශෝධනය කරනු ලැබේ.

7 (xxvii)

ජාතික ක්‍රීඩා සංගමයකට/ සම්මේලනයකට අනුබද්ධ ක්‍රීඩා සමාජ, ආයතන, දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්, පළාත් ක්‍රීඩා සංගම් හෝ දිස්ත්‍රික් හෝ පළාත් සංගමයකට අනුබද්ධ ක්‍රීඩා සමාජ හා අනුබද්ධ සාමාජික සංවිධානවල නිලවරණයන් ඇතුළු සියලු ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් තොරතුරු අදාළ ජාතික ක්‍රීඩා සංගමය/ සම්මේලනය විසින්  ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු ය. 

ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල III වන කොටසට ඉක්බිතිවම

       ‘III (අ) වන කොටස’ ලෙස නව කොටසක් එකතු කරමින් ද එය ‘ ක්‍රීඩා සංගම් අධීක්ෂණය’ ලෙස නම් කරමින්ද, ජාතික ක්‍රීඩා සංගම් නියෝගවල III (අ) වන කොටසේ 7 (අ) වන නියෝගය ලෙස පහත නියෝගය අලුතින් එකතු කරමින්ද,  එකී නියෝගය තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.

7 (අ) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉහත සඳහන් සියළු ක්‍රීඩා සංගම්, සමාජ හා අනුබද්ධ ආයතන පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතුය.  

         තව ද;

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් අධීක්ෂණය ඒ ඒ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මගින් සිදු කළ යුතුය. 

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් ක්‍රීඩා සංගම් අධීක්ෂණය ඒ ඒ පළාතේ ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා මගින් සිදු කළ යුතු අතර, එකී අධීක්ෂණ කටයුතු ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියට අනුකූල වන සේ ඒ ඒ පළාත් සභාව විසින්  ප්‍රඥප්ති මගින් හඳුන්වා දී ඇති විධි විධාන ප්‍රකාරව සිදු කළ යුතුය.

ක්‍රීඩා

17 වන වරටත් ලෝක ශූරයා වූ ජෝන් සීනා

Published

on

By

ලෝක ප්‍රකට මල්ලවපොර ක්‍රීඩක ජෝන් සීනා,  WWE WrestleMania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූර කෝඩි රෝඩ්ස් පරාජය කරමින් 17 වැනි වරට ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණය තුළින් WWE ලෝක ශූරතාවය වැඩිම වාර ගණනක් දිනූ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහුට හැකි විය.

මීට පෙර ඔහු, රික් ෆ්ලෙයර් සමඟ 16 වර ලෝක ශූරතාවය දිනා සම වාර්තාවක් තබා තිබුණි.

මෙම ජයග්‍රහණය විශේෂත්වයක් ගන්නේ එය සීනාගේ සමුගැනීමේ චාරිකාවේ කොටසක් වන බැවිනි.

මෙම වසරේ දෙසැම්බර් මාසයේදී වෘත්තීය මල්ලවපොර ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ආසියාවේ 9වන ස්ථානය

Published

on

By

සෞදි අරාබියේදී පැවති ආසියානු යොවුන් ශූරතා අවුරුදු 18න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ද රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විනාඩි 2.14.25ක කාලයක් වාර්තා කළහ.

මෙය ශ්‍රී ලංකා නව යොවුන් වාර්තාවක් ලෙසද සටහන් විය.

මෙහි රන් පදක්කම විනාඩි 2.11.11කින් තරගය අවසන් කළ චීනය විසින් දිනාගත්තේය.

විනාඩි 2.15.00කින් සිය ඉසව්ව අවසන් කළ තායිලන්තයට මෙහි ලෝකඩ පදක්කම හිමිවිය.

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් පුරා කටීෆ් හි පැවති මෙම තරගාවලිය ඊයේ (18) අවසන් විය.

එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කමක්, රිදී පදක්කම් 3ක්, ලෝකඩ පදක්කම් 4ක් සමගින් සමස්ත පදක්කම් 8ක් දිනාගැනීමට සමත්විය.

ඒ අනුව තරගාවලියට සහභාගි වූ රටවල් රැසක් අතරින් අවම ලෝකඩ පදක්කමක් හෝ දිනූ රටවල් 19ක් අතරින් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 9වන ස්ථානය හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාව දිනාගත් පදක්කම් සංඛ්‍යාව ආසියානු වයස අවුරුදු 18න් පහළ ශූරතාවලියක දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාවද වෙයි.

අවසන්වරට මෙම තරගාවලිය පැවැත් වූ 2023 වසරේදී ශ්‍රී ලංකාවට දිනාගැනීමට හැකිව ඇත්තේ රිදී 2ක් හා ලෝකඩ 2ක් සමගින් පදක්කම් 4ක් පමණි.

රන් 19ක්, රිදී 12ක් හා ලෝකඩ 5ක් දිනූ චීනය පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගත් අතර, ජපානයට එහි දෙවන ස්ථානය හිමිවිය. ඔවුන් රන් 3ක්, රිදී 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනාගත්තේය.

සත්කාරක සෞදි අරාබිය මෙහි තෙවන ස්ථානයට පත්වූයේ රන් 3ක්, රිදී පදක්කමක් හා ලෝකඩ 2ක් දිනාගනිමින්ය.

Continue Reading

ක්‍රීඩා

දසුන් ශානකට IPL දොරටු විවර වේ

Published

on

By

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved