ජස්වර් උමාර් මහතා ඊයේ (03) ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නා බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් පාපන්දු ක්ෂේත්‍රයේ කසු කුසුවක් ඇතිව තිබේ.
ඒ ලංකාවේ ධනවත්ම සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවා එහි පරිපාලනයේ විධායක නිලධාරී තනතුර ලංකාවේ අයකුට ලබා දෙද්දී පාපන්දු සභාපතිවරයා ලංකාවේ විධායක ප්‍රවීනයන් සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් කිරීම ගැන කනස්සල්ල පලකරමිනි.
එසේම මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයක පසුවන ලංකාවට ක්‍රීඩාව හරහා හෝ ලැබෙන ඩොලර් තුට්ටුවත් නැවත රට පැටවීමට උමර් මහතා තීන්දු කිරීම සම්බන්ධයෙන් පාපන්දු ප්‍රවීනයන් දැඩි ලෙස කලකිරී ඇතැයි පැවසේ.
මේ අතර, ජස්වර් අදාල ප්‍රකාශය කර ඇත්තේ පසුගිය කාලය පුරාම පාපන්දු සම්මේලනයට එල්ලව ඇති මූල්‍ය වංචා චෝදනා හේතුවෙන් ජගත් පාපන්දු සම්මේලනය තුළ පවතින සැකය නිසා එම සම්මේලනයේ උපදේශයක් පරිදි විදෙස් විධායක නිලධාරියකු පත්කරන ලෙසට ලැබී ඇති උපදෙස් මත බවද පැවසේ.
එසේම විදෙස් ජාතිකයකු පාපන්දු විධායක ධුරය බාර ගැනීමෙන් පසුව එය පාපන්දුවේ ජාත්‍යන්තර පරිපාලනයට පහසුවුවද එය දේශීය පරිපාලනයට ප්‍රායෝගික අපහසුතා මතුකරනු ඇතිබවට ද සැකයක් පාපන්දු ප්‍රවීනයන් තුළ මතුව තිබේ.
ඊයේ (03) වැඩබාරගත් ජස්වර් මහතා පාපන්දු ලීග්වලට ප්‍රතිලාභ රැසක් ලබා දී යළි පාපන්දු ක්‍රීඩාව සක්‍රීය මට්ටමට ගෙන ඒමේ වැඩපිළිවෙල පළමු විධායක කමිටු රැස්වීමේදී සකච්ඡා කර ඇති බවට මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පාපන්දු පළමු විධායක කමිටු රැස්වීමේදී වැඩි වේලාවක් පාපන්දු ලීග් ශක්තිමත් කිරීම හා අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙන්ව තිබූ බවත්, ලීග් තරග උදෙසා මූල්‍ය අනුග්‍රහයක් දැක්වීමට ද අපේක්ෂිත බවත්වා එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.
එමෙන්ම ග්‍රාමීය පාසල් පාපන්දු නැංවීම උදෙසා පාපන්දු දස දහසක් බෙදාදීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කරන බව උමාර් මහතා පවසා ඇත.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.
“ පාපන්දු පරිපානලය ශක්තිමත් කිරීම වැදගත්. පාපන්දු විධායක නිලධාරියා ලෙස විදෙස් ජාතිකයෙකුගේ සේවය ලබා ගන්නවා. ඒ වගේම පාපන්දු තාක්ෂණික අංශය වෙනුවෙන් අත්දැකීම් ඇති විදෙස් පුහුණුකරුවෙකු බඳවා ගන්නවා. ඒ වගේම පාපන්දු කැලැන්ඩරය ඉක්මණින්ම එළි දැක්වීමට කටයුතු කරනවා“