ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ අනතුරකට ලක්ව තිබේ.
ඒ, කින්ග්ස් ලෙවන් පංජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර ඊයේ (05) පැවති ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟය අතරතුරදීය.
පංජාබ් කණ්ඩායමේ අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂට මුහුණදීමට හැකිවූයේ එක් පන්දුවකට පමණක් වන අතර, අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ෂිකර් ධවාන් එල්ල කළ පහරක් භානුකගේ වැලමිටේ වැදී තිබුණි.
දැඩි වේදනාවකින් පසුවූ බවට දිස්වුනු භානුකව කණ්ඩායම් භෞතික චිකිත්සකවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය වූයේ භානුකට තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි බවයි. එබැවින් කඩුලු රකින පිතිකරු ජිතේෂ් ෂර්මා පන්දුවට පහර දීමට පිවිසියේය.
එලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ භානුක යළි පන්දුවට පහරදීමට නොපැමිණි අතර, පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා තිබුණේ අස්ථි බිඳීමට ලක්නොවූ බවට එක්ස්-රේ වාර්තා වලින් තහවුරු වී ඇති බවයි.
කෙසේවෙතත්, මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 05 කින් පරාජය කිරීමට පංජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් විය.