Connect with us

ක්‍රීඩා

“මාතලේ සහ කොළඹ කෘත්‍රිම හොකීපිටි ජූලි 15ට පෙර විවෘත කරනවා”

Published

on

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.  

ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
වසර කිහිපයක් නතර වී තිබූ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සහ මාතලේ කෘත්‍රිම හොකීපිටිය නවීකරණය කෙරෙමින් තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

ඒ යටතේ මාතලේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 140ක් සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය සඳහා රුපියල් මිලියන 160ක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙම හොකීපිටි දෙකම ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 67ක් මේ වන විට ලියාපදිංචි වී තිබෙනවා. ඉන් ජාතික ක්‍රීඩා සංගම් 05ක් අවලංගු කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනය මැයි 31 වනදාට පෙර යාවත්කාලීන කර නොමැතිවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. එම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් ශමල් ප්‍රනාන්දු මහතාට විශේෂ ගැසට් පත්‍රයකින් බලය පවරා තිබෙනවා.

එමෙන්ම තවත් ක්‍රීඩා සම්මේලන 3ක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳව අධිකරණ කටයුතු සිදුවෙමින් පවතිනවා. එම ගැටළු විසඳා ගැනීමත් සමඟ ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට හැකි බව අප විශ්වාස කරනවා.

තවද පසුගිය අයවැයේ දී ජනාධිපතිවරයා විසින් පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කළා. ඒ අනුව පාසල් ක්‍රිකට් සම්මේලනය සමඟ එක්ව නව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. 

ක්‍රීඩා

සචිත්‍රට අධි චෝදනා

Published

on

By

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

ක්‍රීඩා

IPL කිරුළ Royal Challengers Bengaluru කණ්ඩායමට

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (03) අවසන් මහා තරගය පැවැත්විණි.

එහිදී IPL කිරුළ හිමි කර ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 06කින් Punjab Kings කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඊයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 190ක් රැස් කරගැනීමට සමත් විය.

එහිදී පන්දුවට පහරදුන්, Virat Kohli ලකුණු 43ක්ද, නායක Rajat Patidar ලකුණු 26ක්ද, Liam Livingstone ලකුණු 25ක්ද, Mayank Agarwal සහ Jitesh Sharma ලකුණු 24 බැගින්ද රැස් කලහ.

පන්දු යැවීමේදී Punjab Kings කණ්ඩායමේ Arshdeep Singh සහ Kyle Jamieson කඩුළු තුන බැගින්ද, Azmatullah Omarzai, Vijaykumar Vyshak සහ Yuzvendra Chahal එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අනතුරුව ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කය සහිතව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 184ක් පමණි..

එහිදී, Josh Inglis ලකුණු 39ක්ද, Prabhsimran Singh ලකුණු 26ක්ද, Priyansh Arya ලකුණු 24ක්ද, Nehal Wadhera ලකුණු 15ක්ද රැස් කලහ

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Shashank Singh නොදැවී ලකුණු 61ක් රැස් කලේය.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Krunal Pandya කඩුළු 02 බැගින්ද, Yash Dayal, Josh Hazlewood සහ Romario Shepherd එක් කඩුල්ල බැගින් දවාගත්හ.  

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved