ක්‍රීඩා

ලංකාවට තීරණාත්මක ඇෆ්ගන් සටන අද ඇරඹෙයි!

Published

on

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (25) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මෙය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් එක්දින තරගාවලියට අයත් එකකි.

තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වේ.

වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට මේ තරගාවලිය ශ්‍රී ලංකාවට වාසිදායක අවස්ථාවකි.

ඒ අයිසීසී සුපර් ලීග් ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ පසුවීමය.

මෙම තරගාවලිය ජයගතහොත් ලංකාවට පියවරක් ඉදිරියට යාමට අවස්ථාව උදාවේ.

අයිසීසී ලකුණු සටහනේ පළමු කණ්ඩායම් අට සඳහා ලෝක කුසලානයට සහභාගිවීමේ අවස්ථාව නිරායාසයෙන් හිමිවේ.

මේ වන විට ඇෆ්ගනිස්තානය එම ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ හා බටහිර ඉන්දිය කොදෙව් පිල 8 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රී ලංකාවට ඉහළින් 9 වැනි ස්ථානයේ සිටින්නේ අයර්ලන්ත පිලය.

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව මෑතකදී කුතුහලය දනවමින් තියුණු අවසානයක් කරා ගිය තරග ගණනාවකට සහභාගී විය.

පසුගිය ආසියානු කුසලාන පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීම තැතිගන්වන සුළු විය.

එම තරගාවලියේදීම සුපිරි හතර වටයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට පිබිදීමකින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය.

ඔස්ට්‍රේලියාවේ නිමා වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නැවත වරක් පෙරැළිකාර ආසියානු ප්‍රතිවාදියා වූ ඇෆ්ගනිස්තානය, බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේදී කඩුලු 6කින් පරාජය කළේය.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය මෙතෙක් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 4කට සහභාගී වී ඇති අතර, එයින් වැඩි වාසි ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව තරග 3කින් ජය ගනිද්දී ඇෆ්ගනිස්තානය තරගයක ජය වාර්තා කළේය.

මේ සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවලදී පවත්වා තිබීම විශේෂත්වයකි

Trending

Exit mobile version