ක්‍රීඩා

වනිඳු යළිත් අංක එකට

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ නවතම විස්සයි20 තුන්ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ අංක එකට පැමිණීමට ශ්‍රී ලංකා නායක වනිඳු හසරංගට හැකිවී ඇත.

වනිඳු මීට පෙර ඉකුත් මැයි මස අවසානයේදී ද මෙහි පෙරමුණගෙන සිටියත්, ලෝක කුසලාන තරගාවලියේදී පිතිකරුවෙකු ලෙස අසාර්ථකවීම හේතුවෙන් පසුබැසීමට සිදුවිය.

විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ තරගවලදී වනිඳුට දවාගැනීමට හැකිවූයේ කඩුලු 06ක් පමණක් වූ අතර, පන්දුවට පහරදීමේදී රැස්කළේ නොදැවී ලකුණු 20ක් පමණි.

තරග දෙකකදීම වනිඳුට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඒ හේතුවෙන් වනිඳුගේ අංක එක උදුරාගැනීමට ඇෆ්ගනිස්තානයේ මොහොමඩ් නබිට හැකිවිය.

කෙසේ නමුත් නබිගේ තුන්ඉරියව් දක්ෂතා ද සැලකිය යුතු ලෙසින් ප්‍රදර්ශනය නොවීම හේතුවෙන් ඔහුට දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට මේ වනවිට සිදුව ඇත.

මේ අතර ස්ථාන 04ක ඉදිරියට පැමිණ ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යා මෙහි තෙවැනි ස්තානයට පැමිණ සිටියි.

එමෙන්ම ස්ථාන 03කින් පහළට ගිය ඔස්ට්‍රේලියාවේ මාකස් ස්ටොයිනිස්ට වත්මන් ශ්‍රේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 04වැනි ස්ථානයයි.

වනිඳුගෙන් පසු ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයා දසුන් ශානකයි. ඔහුට මේ වනවිට 14වැනි ස්ථානය හිමිව ඇත.

Trending

Exit mobile version