එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරඟය අද (23) ඕමාන පිල සමඟ බුලවායෝ නුවර කුයින්ස් පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕමාන කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට මුණගැසෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද මධ්‍යාහ්න 12.30ට ආරම්භ වන අතර මෙම තරඟයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන දුලිප් මෙන්ඩිස් ඕමාන පිලේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමය.
මේ වන විට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කළ තරග දෙකම ජයගෙන සිටින ඕමානය අද එක්වන්නේ සිය තුන්වැනි තරගයටය.
මීට වසර කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින වරම් හිමි කර ගැනීම දක්වා ඕමානය රැගෙන ගිය දුලිප් මෙන්ඩිස්ගේ මෙවර ඉලක්කය වසර අගභාගයේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සිය කණ්ඩායම රැගෙන යෑමය.
එසේ වුවද අද තරඟය ශ්‍රී ලංකා පිලට විශාල අභියෝගයක් නොවනු ඇත්තේ තුන් ඉරියව්වෙන්ම දස්කම් අතර සිටින බැවිිනි.
එමෙන්ම ශ්‍රී ලංකා පිලේ ආරම්භක වේගපන්දු යුගලය වන කසුන් රාජිත හා ළහිරු කුමාරත්, දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණත් ඕමාන පිතිකරුවන්ට දැඩි තර්ජනයක් වනු නිසැකය.
තවද ජයගත් තරඟ 2දීම අර්ධ ශතක රැස් කළ අකීබ් ලියාස්, පළමු තරගයේදී ලකුණු අතරට පිවිසි කෙෂ්යැප් ප්‍රජාපති, නායක ශීෂාන් නදීම් සහ මොහොමඩ් නදීම් ශ්‍රී ලංකා පිලේ වැඩි අවධානයට ලක්විය යුතු පිතිකරුවෝ වෙති.
මේ අතර ආබාධයක් නිසා පළමු තරඟය අහිමි වූ වේගපන්දු යවන දුෂ්මන්ත චමීරට අද තරඟයට ක්‍රීඩා කිරීමේ හැකියාව තිබුණද ඔහු තවදුරටත් විවේක ගන්වනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.